බඩු මිල උඩටම

Picture of Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

තිරිගු පිටි, සිමෙන්ති, ගෑස් මිල ඊයේ (11) සිට ක්‍රියාත්මක වන පරිදි  ඉහළ දමා තිබේ.

ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කළේය.

ගෑස් සහ තිරිඟු පිටි මිල වැඩිකිරීම හේතුවෙන් අද සිට අලෙවි කරන සැකසූ ආහාර, බේකරි නිෂ්පාදන, තේ වල මිල දමන බව ද ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසා තිබුණි.

මේ අතර පෙරෛ්දා (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.

ලීත්‍රෝ සමාගම පසුව ඉතා සුළු මුදලකින් යළි ගෑස් මිල අඩුකරන බව ඊයේ නිවේදනය කර තිබුණි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 75කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 14කින් අඩු කොට තිබුණි. නව මිල ගණන යටතේ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.2675ක් ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 1071ක් ද කිලෝග්‍රෑම් 2.3 බර ගෑස් සිලින්ඩරයක මිල රු. 506ක් ලෙස ද මිල ගණන් ඉහළ දමා ඇත.

පෙරේදා පවසා තිබුුණේ කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,750ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 520ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

මේ අතර ලාෆ් සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ. එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.

ලාෆ් ගෑස් සමාගම පසුගිය අගොස්තු මාසයේ දී ද කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 363කින් සහ කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ නංවා තිබුණි.

පසුගියදා ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක් බරැති පැකට්ටුවක මිල රුපියල් 250 කින්ද ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 100 කින්ද ඉහළ දමා තිබුණි.

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබීය. ඒත් සමඟ නිෂ්පාදන පිරිවැයට සාපෙක්ෂව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් මෙලෙස කටයුතු කර තිබේ.