සියලුම බස් සංගම් ඒකාබද්ධව අද (08)  මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත .

මුදල් හා ප්‍රග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ බස් සංගම් අතර අද (8) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව ගැටලු සඳහා විසදුම් ලබාදීමට සතියක කාලයක් ලබා දීමට බස් සංගම් එකඟතාවය පල කළ බවත් එසේ නොමැතිනම් ලබන සතියේ සිට බස් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් විජේරත්න මහතා සඳහන් කළේය.

රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් ෂීට් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පලාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර  ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් බස් සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබේ.