මරණීය දණ්ඩනයට අදාළ පෙත්සම් 3ක් ප්‍රතික්ෂේප වෙයි

Picture of අසංක

අසංක

 ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම් 3ක් ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීන්දු කර තිබේ.

ඒ මරණීය දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් 3කි.

එල්ල.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේය.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි මහාචාර්ය සී. ගුණරත්න මහතා  ඇතුළු පාර්ශව තුනක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ නීතිපතිවරයා ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට පාදක වී තිබෙන යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුව දැනටමත් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුවේ සිදුවන මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණයට බලයක් නොමැති බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

අදාළ මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.