මේ වසරේදී ත්‍රීවිල් 300ක් විදුලියට හරවයි – ලියාපදිංචියටත් සූදානම්

Picture of අසංක

අසංක

ඉදිරියේදී විදුලි බලයට පරිවර්තනය කරන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙයි. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් UNDP ආයතනය වෙන්කර ඇත.

ත්‍රීරෝද රථ ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් අද (22) පැවති අවස්ථාවේදීය.

මෙයට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීමද මෙහිදී අවධානයට යොමු විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මගී ප්‍රවාහනයට සම්බන්ධ සියලු ආයතනවල වගකීම ජාතික ගමනාගමන කොමිෂන්මට ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව පැවසීය.

එමඟින් පනත සංශෝධන කිරීමට, ගාස්තු තීරණය කිරීම හා දඩ මුදල් නියම කිරීමේ බලය ද එමගින් ජාතික ගමනාගමන කොමිසමට ඉඩ ලැබෙන බව කීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ලේකම්වරයා, ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් හා UNDP ආයතනයේ නියෝජිතයින් පිරිසක් එක්වූහ.