රසායනික පොහොරවල මුදල ගොවියාට – ජනපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

*යහපාලනයේ ඇණහිටි ගොවි රක්ෂණයත් ඇරඹේ

පැතුම් වික්‍රමරත්න

රසායනික පොහොර ආනයනයට  වැය කෙරෙන රුපියල් මිලියන 80,000 ක මුදල ගොවියාට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

ඊයේ (01) පැවැති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනපතිවරයා මේ බව පැවසීය.

කාබනික වගාවවෙනුවෙන් රජය ආරම්භ කර ඇති  වැඩපිළිවෙළ අඛණ්ඩව හා සාර්ථක කර ගැනීමට ,කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලබාදීමට සලස්වන බවද ජනපතිවරයා පැවසීය.

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන බවත්, ආදායම් අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මගින් ලබාදෙන බවත්, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ ඇන හිටි “ගොවි රක්ෂණය“ ඊයේ සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම“ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන්නේය. ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවිමට රජයේ අවධානය යොමුව ඇති බව එම අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස මෙහිදී දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.

පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබිණ. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිවරයා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටියහ.

යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.