නවතම පුවත්

ලෝකයක් ආසකරන බ්‍රෑන්ඩඩ් දේවල් කාටත් කලින් දැකලා ලංකාවේ නම ලෝක මැරතන්වල බ්‍රෑන්ඩ් කරන මාතර අනූප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජීවිතයේ ඇතැම් පාඩම් අප ඉගෙන ගන්නෙ ජීවිතය පටන්ගැන්මෙදි  නෙවෙයි. අවසානයේදී ද නෙවෙයි.. ඇතැම්විට මැදින් පාඩම් ඉගෙන ගෙන මුළු ජීවිතය වෙනස්කරගන්නවා විය හැකියි. මේ මොන විධියට කිව්වත් හැමෝම දන්නවා හැම මොහොතක්ම අපේ  ජීවිත පාඩමක් කියාදෙන බව, නමුත් ඒ පාඩම්වලින් ජීවිතයට යමක්  ක්‍රියාවෙන් ඉතිරි කරගන්නේ කීයෙන් කී දෙනාද ? 

මේ කතාවේ කතා නායකයා අනූප විජේසිංහ. ඔහු පුංචිම සන්ධියේවත්, පාසල් කාලයේවත්, විශ්ව විද්‍යාල ජීවිතයේදීවත් නොකරපු දෙයකට හුරුවන්නේ රැකියාවකුත් කරන්න පටන්ගත්තායින් පසුවයි.

මාතරින් පටන්ගෙන ජීවිත ගමන දුවපු අනුප දැන් ජීවත්වන්නෙ ඇමෙරිකාවේ. ඔහු ඇබොට් ලෝක මැරතන් (Abbott world marathon majors) පදක්කම් හය ( Six Star medal)  දිනාගත් ලාංකිකයන් තිදෙනාගෙනුත් ලාබාලම ශ්‍රි ලාංකිකයා වෙනවා.

මේ තරුණ ඔබට වැදගත් වන ආකල්ප වෙනසකට යමක් ගත හැකි අපුරු මිනිසකුගේ හමුවීමක්. The Colombo Express වෙබ් අඩවියට ඔහු සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුයේ ඇමෙරිකාවේ උතුරු කැරොලිනා සිටයි.

  • අනුප අපි උපන්දිනයෙන් පටන් ගමු  ?

1980 ඔක්තොම්බර් 27 වැනිදා.

  • උපන් ගම ? 

මාතර

  • දෙමව්පියන් සහ පවුලෙ විස්තර ?

මගේ අම්මා පී අබේගුණවර්ධන ඇය ගුරු උපදේශිකාවක්,මගේ තාත්තා ඩී.ඒ විජේසිංහ ඔහු වල්ගම මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවිධියට වැඩ කළා. මට අයියලා තුන්දෙනෙක් ඉන්වා.රේණුක,දුමින්ද,දිනූෂ මම තමයි පවුලෙ බාලයා.

  • පාසල් ගියේ ? 

මාතර රාහුල විද්‍යාලයට

  • පාසල් කාලයේ මතකයන් ?

7- 8 ශ්‍රේණිවලට එනකම් වගේ මම මලල ක්‍රිඩාවලට සම්බන්ධ වුණා. නමුත් ඉන් පස්සෙ නැහැ. බාහිර වැඩ ගොඩකට සම්බන්ධ වුණා. ඒ කාලේ මම කුංෆු සටන් කලාව හැදෑරුවා. අංක 428 මුතුහර ළමා සමාජයේ ලේකම්, මංතින්ද පිරිවෙණේ ශ්‍රි රතනපාල දහම් පාසලෙත් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා. මාතර රාහුල විද්‍යාලයේ 98/99 නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළා. ශිෂ්‍ය නායකයකුවුණ දවසෙ ඉදන් පාසලේ හැම දේටම සම්බන්දයි.

  • සමාන්‍යපෙළ ප්‍රතිඵලය ?

1996 සාමාන්‍යපෙළ කළේ. මට විශිෂ්ඨ සාමාර්ථ (ඩී) 8 තිබුණා.

  • උසස් පෙළ ප්‍රතිඵලය ?

මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්.1999 පළමුවර මට සම්මාන (C) 3කුත් , සාමාන්‍ය සාමාර්ථ (S ) 1 ලැබුණා. දෙවැනිවර 2000දි විශිෂ්ට සාමාර්ථ (A) 3ක් හා සම්මාන (C) 1 සාමාර්ථයක් ලබා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සමත්වුණා.

  • අනාගත සහකාරිය ඔබට හමුවෙන්නෙත් මේ කාලයේදීමයි ?

ඇය චින්තානි ලලනිකා ගුණවර්ධන උසස් පෙළ දෙවැනිවරට මුහුණ දෙන කාලයේ තමයි ඇයව මට හමුවුණේ. ඒ ආදරය 2007 විවාහය දක්වා දුර ඇවිත් මගේ බිරිද බවටම පත්වුණා.

  • තේරී පත්වු  විශ්ව විද්‍යාලය සහ විෂය ?

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරන්නයි  තේරි ත්වුණෙ. පළමු වස‌රේ විභාග ප්‍රතිඵල අනුව විද්‍යුත් ඉංජිනේරු ( B.Sc  Electrical) උපාධිය හැදෑරීමට අවස්ථාව සැලසුනා. 2001/2004 බීඒස්සී ඉංජිනේරු ගෞරව උපාධිය දෙවන පෙළ ඉහළ සමාර්ථයක් සහිතව සමත්වෙන්න මට හැකියාව ලැබුණා.

  • මේ කාලයේ විශ්ව විද්‍යාලයේදී ඔබ මළල ක්‍රිඩකයෙක්ද මැරතන්වලට යොමුවුණාද  ?

ඇත්තටම නැහැ. එහෙම කැමැත්තක් තිබුණෙ නැහැ. මැරතන්වලට නම් කොහෙත්ම නැහැ.

  • පළමුවෙන්ම රැකියාවකට සම්බන්ධ වුණේ ?

2007 අවුරුද්දෙදි වැල්ලවත්ත IFS එකේ  මෘදුකාංග උපදේශක (Application Consultant) ඉංජිනේරුවරයකු විධියට මුලින්ම රැකියාවක් ලැබුණා. මේ කාලයේදි මම මාස 7 ක් පකිස්ථානයෙත් මෘදුකාංග උපදේශකයෙක් විධියට සේවය කළා.

  • රැකියාව කොහොමද දිගු වෙන්නෙ ?

2008 දි Attune ශ්‍රි ලංකා ආයතනයට මම සම්බන්ධ වෙනවා. ඒ SAP උපදේශකයකු විධියට විලාසිතා කේෂත්‍රය සම්බන්ධයෙන්. Fashion Industry එක ගැන උනන්දුවක් ඇතිවෙන්නෙ එහෙමයි. මේ අතරදිම තමයි මගේ පළමු පුතා අපට ලැබෙන්නෙ. එයා සෙනුක් විජේසිංහ.  2010 දි අපි පවුල පිටින්ම ජර්මනියට යනවා. ඒ Attune ජර්මනි ආයතනයට සම්බන්ධවීමේ අවස්ථාවක් හිමිවීම නිසයි. එතැනින් මට Attune ඇමෙරිකා සම්බන්ධවීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව මම ජර්මනියේ ඉදන් 2012 දි මුළු පවුල පිටින්ම ඇමෙරිකාවට යනවා. 2012 දි අපේ දුව අමායා විජේසිංහ උපත ලබනවා.රැකියාවයි ජීවිතයයි එකට ආවේ ඔහොමයි ( සිනාසෙයි)

  • Attune ආයතනයේ ඔබේ කාර්යත් පැහැදිලි කළොත් ?

ඇත්තටම මම මේ ආයතනයේම තමයි ලංකාවේත් සේවය කළේ, SAP උපදේශනය සදහා රටින් රටට විවිධ සේවාදායකයින්ට අපගේ පහසුකම් සැලසෙනවා. ලංකාවේදි MAS වගේ ආයතනය සම්බන්ධව මෙම සේවාව මම සැපයුවා. ඉන් අනතරුව අඩිඩාස්, පුමා , (adidas, Puma) දැන් මම ලොව පිළිගත් Coach bag සදහා තොරතුරු තාක්ෂණයට අදාලව SAP සේවාව සපයමින් සිටිනවා. ඒ හරහා අපගේ සේවාදායකයාට අවශ්‍යය සියලුම ආකාරයේ කටයුතු සිදුවෙනවා. ඇණවුම, ඇණවුම් භාර ගැනීම, ගබඩා කිරීම, තත්ත්වය, ඇතුළු සියලු සේවා සදහා තොරතුරු තාක්ෂණික සහය අප හරහා ලැබෙනවා. ඇමෙරිකාවේ මම දැන් සේවය කරන්නෙ Coach සේවාදායකයාට. ඉතිං මේ රැකියාවේ තියෙන අරුමු පුදුම දේ තමයි ලෝකේ අලුතින්ම එන බ්‍රෑන්ඩ් පාරිභෝගිකයා අතට පත්වෙන්න කලින් අපි දකිනවා. ඒ අපි දකින දේ තමයි ලොව පුරා විහිදිලා සිටින පාරිභෝගිකයාගේ අතට ලැබෙන්නෙ. 

  • මැරතන් දුවන්න පටන් ගත්තේ මොන කාලේද ? විශේෂ හේතුවක් තිබුණද ?

2015 නිව්ජේසිවල ඉන්න කාලයේ මම උදේට කිලෝමීටර් 3ක් 5ක් අතර සංඛ්‍යාවක් දුවන්න ගත්තා. මගේ සිහිනය වුණේ ජීවිතයේ එක පාරක් හෝනිව්යෝර්ක් හෝ බුස්ටන් වගේ  පිළිගත් මැරතන් එකක් දුවන එක. ඒක ඒ පටන්ගත් කාලයේ මට තිබුණ හීනය. 2016 මම උතුරු කැරොලිනාහි ඇපෙක්ස් කියන ප්‍රදේශයේ නිවසක් මිලට ගන්නවා. මිතුරෙකුගේ උදව්වෙන් මට නිව්යෝර්ක් මැරතන් එකට සහභාගිවීමට අවස්ථාව ලැබෙනවා. පැය 4 මිනිත්තු 49 තප්පර 48කින් මම මෙම මැරතන් එක දුවලා පදක්කම දිනාගන්නවා. ඇත්තටම ලෝකේ පිළිගත් මේ වගේ මැරතන් එකකදි මැරතන් එක අවසන් කරන හැමෝටම පදක්කමක් ලැබෙනවා. ලෝකේ මේ වගේ පිළිගත් මැරතන් හයක් තියෙනවා. මේ හයම දුවන්න මට අරමුණක් ආවා.

  • ABBOTT WORLD MARATHON MAJORS ඇබොර්ට් ලෝක මැරතන්වලට අයත් මැරතන් හයක් තිබෙන බව කිව්වා. ඒ මැරතන් 6ත් ඒවා ඔබ සම්පුර්ණ කළ විධියත් කියන්න පුළුවන්ද ?

නිව්යෝර්ක්, චිකාගෝ,බුස්ටන්, ලන්ඩන්,බර්ලින්,ටෝකියෝ  ABBOTT WORLD MARATHON ලෙස සැලකෙනවා. පදක්කම් හයක පදක්කමක් තමයි මේ මැරතන් සියල්ල සම්පුර්ණ කරන පුද්ගලයකුට ලැබෙන්නෙ. සෑම මැරතන්එකක්ම කිලෝමීටර් 42.195 තිබෙනවා. අනෙක් විශේෂත්වය මේ රටවල්වලට ගිහිල්ලාම තමයි අදාල මැරතන්වලට සහභාගිවෙන්න ලැබෙන්නෙ. ලන්ඩන් මැරතන් එකට එංගලන්තයට, බර්ලින් මැරතන් එකට ජර්මනියට, ටෝකියො මැරතන් එකට ජපානයට යන්න වෙනවා. අනෙක් මැරතන් ඇමෙරිකාවේම ප්‍රාන්ත කිහිපයක තියෙන්නෙ. 2017 දි මම චිකාගො මැරතන් එක පැය 4.49.25 කින්, 2018දි ලන්ඩන් මැරතන් එක පැය 4.46.07 කින්, ඒ අවුරුද්දෙම බර්ලින් මැරතන් එක පැය 4.27.17කින්, මේ අවුරුද්දෙ ටෝකියො මැරතන් එක පැය 3.54.56කින් සහ බුස්ටන් මැරතන් එක පැය 4.09.56 කින් අවසන් කරනවා.

  • මේ දක්වා ලෝකයේම මේ ඇබොට් තරු හයේ පදක්කම ලබාගෙන තිබෙන්නෙ 6133දෙනයි. ඒ අතර පිරිමි 4409යි. ඉන් ලංකාවේ 3 දෙනයි. ඒ අතරිනුත් බාලයා වීම දැනෙන්නෙ කොහොමද ?

ඇත්තටම දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. ලංකාවෙන් මේ කඩඉම මුලින්ම පසු කළේ ගාමිණි සුගතදාස මහත්මයා, දෙවනුව මම. දැන් මගේ මිතුරෙකු වන ගෙෂාන් වීරසිංහ මෙම කඩඉම පසුකර තිබෙනවා. ලාංකිකයකු ලෙස මෙම කඩඉම ජයග්‍රහණය කිරීමට ලැබීම ලොකු සතුටක්. මම මගේ මහන්සියේ ප්‍රථිපලය අරගෙන තිබෙනවා. මේ වගේ දේවල්වලට යොමුවෙන්න තිබෙන අපහසුව නිසා ඇතැම්විට නොදැනුවත් බව නිසා ලංකාවෙන් මේ සදහා තිබෙන උනන්දුව අඩු ඇති. නමුත් අපේ රටේ හුගක් දක්ෂයො ඉන්නවා. ඔවුන්ට පුළුවන් මේ වගේ ලෝක මට්ටමේ තරගාවලියන්ට සහභාගිවෙලා ජයග්‍රහණයන් රට වෙනුවෙන් ලබාදෙන්න. 

  • එහෙම කිව්වට අපේ රටේ අපි බස්වල යන්නෙ ජිම් වල ඉන්නවා වගේ කියලයි බොහෝ අය කියන්නෙ. ඉතිං දුවන්න වෙලාවක් හොයා ගන්න පුළුවන්ද ?

මම මේ ප්‍රශ්නෙට හරි කැමැතියි. මොකද අපට හුගක් දේ බැරිවුණා කියන්න කොච්චර හේතු කියන්න පුළුවන්ද ? හැබැයි මේ වගේ අභියෝගයක් ජයගන්න ඒකට අවශ්‍යතාව කියන එක හේතුවක් හදාගත්තා නම් හොදටම ඇති. මම සදුදා නිවසින් පිටවලා මගේ සේවා ස්ථානයට යන්නෙ ගුවනින්. මම දවස් 4ක් ඒ පළාතේ ගෙවන්නෙ රැකියාවේ. ආපහු බ්‍රහස්පතින්දා නැවත පැය දෙකක වගේ ගුවනින් ඇවිත් නිවසට එනවා. මේ එක දවසකවත් මම මගේ පුහුණුවීම් නවත්වන්නෙ නැහැ. බ්‍රහස්පතින්දා රෑ වෙලා නිවසට එන්න වෙන්නෙ. පවුලෙ අය එක්ක කෑම ගන්න ඔන ඒ වගේ දවසට මම උදේ මගේ දුවන වැඩ සහ ජිම් එකේ වැඩ ටික කරගන්නවා. පාන්දර 4.30 – 5 නැගිටලා මම මගේ පළමු කාර්ය විධියට මේ දුවන වැඩේ කරනවා. මොකුත්ම නෑ කියලා හිතුවත් ශරීර සෞඛ්‍යට මේ පුරුද්ද කොච්චර හොදද ? මගේ බිරිදත් දැන් මැරතන් දුවන්න ආසයි. අපට මේ ශරීර යෝග්‍යතාව නැත්නම් කෑවෙ නෑ වගේ තමයි. අනෙක මැරතන් එකක සියයට 60 ශරීර යෝග්‍යතාව අනෙක් සියයට 40 මනස. මනසින් දුවන්න බෑ කියලා හිතුවොත් බෑම තමයි. අමාරුවෙන් මැරතන් එකක් අවසන් කරන්නෙ අර 40ත් එක්ක. නැත්නම් නවතින්න හිතෙන වාර අනන්තයි. 

  • මෙච්චර ආස  මැරතන්වලට ?

ඔව් මේක මට දැන් භාවනාවක්. මම භාවනාව කරන්නෙ මැරතන් එකේ.

  • මම කැමතියි බැරි හේතු දාහක් අමතක කරලා අවශ්‍යය දේට එක හේතුවක් හොයාගන්න කතාවට.මොනවද ඉදිරි බලාපොරොත්තු ? 

දැනට මම මැරතන් 9ක් කරලා තියෙනවා. ඔක්තොම්බර් මාසේ Marine Corp මැරතන් එක, 2020 ජනවාරි ඩිස්නි වර්ල්ඩ් මැරතන් එක දුවන්න හිතාගෙන ඉන්නවා. ජීවිතයේ මුළු ඇමරිකාවේ ප්‍රාන්ත 50ක නියෝජනයවන පරිදි මැරතන් 50 කට සහභාගිවෙන්න. හැම මහද්වීපයේම එක මැරතන් එක ගානෙ දුවන්න හීනයක් තියෙනවා.

  • තරුණයෙක් විධියට ඔබ අපේ රටේ තරුණයන්ට දෙන පණිවුඩය මොකද්ද ?

බෑ කියන්න ගොඩක් අය ඉදිවී පුළුවන් කියන්න ඉන්න අය ටිකයි හමුවෙන්නෙ. බෑ කියලා නවතින්නෙ නැතිව අවශ්‍යය දේ කරන්න අවශ්‍ය කාලයට එය කරලා අවසන් කරන්න කාලයක් වෙන් කරගන්න. කාලය තියෙන්නෙ ඔබේ අතේ. මැරතන් වලින් කිව්වොත් මම මේ දුවන මැරතන්වල ආරම්භක ස්ථානයට අවුරුදු 70-80 ආච්චිලා සීයලත් එනවා. තරබාරු අයත් එනවා. මේ අයට හේතු කියක් නම් කියන්න පුළුවන්ද බැරිවෙන්න. ඒ නිසා ලංකාවෙ තරුණයො විධියට අපි පුළුවන් වෙන්න එක හේතුවක් හරි හොයාගමු. එතකොට අපේ රට මීටත් වඩා ලස්සන වෙනවා. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්