නවතම පුවත්

‘වැඩබිමේ ආතතිය’ ගැන ඔබ දන්නවාද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යම් අයෙකු හෝ ආයතනයක් තමන්ගෙන් බලාපොරොත්තු වන කාර්යයන් තමන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ විට තමන් තුළ සිදු වන මානසික හා කායික ප්‍රතික්‍රියාව වැඩබිමේ ආතතිය හෙවත්’Work Pressure’ ලෙස හඳුන්වන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පැවසීය.

“අපෙන් බලාපොරොත්තු වන දේවල්, අපිට ඉටු කර ගන්න බැරි වුණා ම දැනෙන මානසික හා කායික ප්‍රතික්‍රියාව. නිශ්චිත කාල සීමාවකදී සහ ඔහුගේ හැකියාව අනුව ඒ රැකියාවෙන් බලාපොරොත්තු වන දේවල් ඉටු කර ගන්න බැරි වුණා ම හෝ රැකියාවෙන් පැවරෙන කාර්ය භාරය නිසා එදිනෙදා දේවල් ඉටු කර ගන්න බැරි වුණා ම ඇති වන පීඩනය තමයි මේ මානසික ආතතිය කියලා හඳුන්වන්නේ.”

ආතතිය ඇති වන්නේ කොහොම ද?
ඔහු පෙන්වා දුන්නේ, නිශ්චිත කාල සීමාවකදී ඉටු කර ගැනීමට නොහැකි තරම් වැඩ ප්‍රමාණයක් ආයතනයක් විසින් යම් පුද්ගලයෙකු මත පවරනු ලබනවා නම්, මානසික ආතතිය ඇති විය හැකි බව ය.

“එහෙම නැත්නම්, නිශ්චිත කාල වේලාවක් නොමැතිව දීර්ඝ කාලීනව වැඩ පැවරීම නිසා ඔහුට අවශ්‍ය අනෙක් දේවල්, විනෝදාස්වාදය සඳහා, පවුලේ අයත් එක්ක ඉන්න හෝ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට බැරි වීමෙනුත් මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්.”

තමන්ට පැවරුණු රාජකාරිය ඉටු කර ගැනීමට දක්ෂතාව, අත්දැකීම්, පළපුරුද්ද සහ දැනුම නොමැතිකම හේතුවෙන් බලාපොරොත්තු වන මට්ටමින් එය කර ගැනීමට නොහැකි වීමෙන් ද මානසික ආතතිය ඇති වන බව ඔහු පැවසීය.

තව ද තමන් උවමනාවට වඩා අධීක්ෂණයට ලක්වන විට සහ ආයතනය තුළ පනවා ඇති නීතිරීති හේතුවෙන් ඇතිවන පීඩනයෙන් ආතතිය ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

“ඒ වගේ ම උසස් වීම් දිගින් දිගට ම නොමැති වීම නිසා පීඩාවට ලක් වෙන්න පුළුවන්, තමන් දෙන ශ්‍රමයට නිසි වේතනයක් නැති වුණා ම, එහෙම නැතිනම් වාචික ප්‍රශංසා කිරීම් නැතිකම සහ තමන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක් වන බව දැනීම,” ආදිය ද ඊට හේතු වන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පැවසීය.

තවදුරටත් පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ, රැකියාව ඒකාකාරී වීම, රැකියාව කරන පරිසරයේ ස්වභාවය, නිවාඩු නොලබා දීර්ඝ කාලයක් වැඩ කිරීම සහ නිදිවරා වැඩ කිරීම හේතුවෙන් ද ආතතිය ඇති විය හැකි බව ය.

“ඝෝෂාකාරී පරිසරයක ඉන්නවා නම්, උෂ්ණත්වය පරිසරයක ඉන්නවා නම්, නිතර සෙලවීම් සිදු වන නැවක වගේ රැකියාව කරන පරිසරය අනුවත් ආතතිය ඇති වෙන්න පුළුවන්.”

තමන්ට ආතතිය ඇති බව හඳුනා ගන්නේ කෙසේ ද?
ආතතිය ඇති වූ විට මානසික සහ කායික ලෙස දෙආකාරයෙන් ම ලක්ෂණ පෙන්විය හැකි බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ ය.

මානසික වශයෙන් ගත් කළ; තරහ යාම, මතක ශක්තිය අඩු වීම, අවධානය අඩු වීම, කලකිරීම සහ නිතර නිතර දුක සිතීම ඒවා අතර වන බව ඔහු පැවසීය.

හුස්ම ගැනීමේ අපහසුව, හෘද ස්පන්ද වේගය වැඩි වීම, දහඩිය දැමීම සහ නින්ද නොයාම ආදිය කායික ලක්ෂණ අතර වේ.

“තමන්ට වෙන දා වගේ හරියට වැඩ කරන්න බැරි නම්, තමන්ගේ හැකියාව අනුව වෙන දා කරපු වැඩ ටික කරන්න බැරි නම්, ඒ වැඩ ටික සතුටින් කරන්න බැරි නම්, ඒ වගේ ම එන්න එන්නම කාර්යක්ෂමතාව අඩු වෙනවා නම් ඒ අවස්ථාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ.”

ඔහු සඳහන් කළේ, ආතතිය දිගින් දිගට ම පැවතීමෙන් විශාදය ඇති විය හැකි බව ය.

“විශාදය තත්ත්වයට පත් වුණාට පස්සේ, සියලු ම දේ එපා වෙනවා. කලකිරෙනවා. ජීවිත නැති කරගන්න උත්සහ කරනවා. ඒ ආතතිය උග්‍ර අවස්ථාවට පත් වුණාට පස්සේ.”

ආතතිය දීර්ඝ කාලීනව පැවතීමෙන්, හෘද රෝග, දියවැඩියාව සහ හෝමෝන සම්බන්ධ රෝග ඇති විය හැකි බව ද විශේෂඥ මනෝවෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, රැකියාව කිරීමේදී ඇති වන ආතතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව ය. ඇතැම් අය ආතතිය දරා ගැනීමට තරම් ශක්තිමත් බව ත් ඔවුන්ගේ ජානවල එය පිහිටා ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

“ඒකට ජානමය පසුබිම සහ ළමා කාලයේ අත්දැකීම් බලපානවා. සමහර අය ඉන්නවා මේ අත්දැකීම් නැති වුණත් සමාජ කුසලතා වර්ධනය කරගත්ත අය. ආතතිය කළමනාකරණය කර ගැනීමේ කුසලතා, ඒ වගේ ම ආතතිය අඩු කර ගැනීමේ උපක්‍රම දන්න අයට ආතතිය ඇති වීම අඩුයි.”

ආතතිය නරක දෙයක් ද?
ආතතිය යම් කිසි මට්ටමක තිබීම සෑම විට ම අහිතකර තත්ත්වයක් නොවන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පෙන්වා දුන්නේය.

ඔහු සඳහන් කළේ, ආතතිය නැති වූ විට කාර්යක්ෂමතාව අඩු විය හැකි බව ය.

“ආතතිය යම් කිසි මට්ටමක තිබීම හැම වෙලාවේ ම අහිතකර තත්ත්වයක් නොවෙයි. ආතතිය නැති වුණාමත් කාර්යක්ෂමතාව අඩු වෙනවා.”

ආතතිය යම් කිසි මට්ටමක් දක්වා තිබීම, කාර්යක්ෂමතාව වැඩි කරන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ආතතිය නිසා පුද්ගලයෙකුට සිදු විය හැකි උපරිම හානිය කුමක් ද?
ආතතිය දීර්ඝ කාලීනව පැවතීමෙන් එය විශාදය දක්වා වර්ධන වී සිය දිවි නසා ගැනීමක් දක්වා ඔඩු දිවිය හැකි බව විශේෂඥ මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.

“විශාදයට ආවට පස්සේ, සියලු ම දේ එපා වෙලා, රැකියාවෙන් අයින් වෙලා, ගෙදරට වෙලා කිසි ම දෙයක් නොකර ඉන්න පුළුවන්. සමහර වෙලාවට එක රැකියාවක ඉන්නේ නැතුව නිතර නිතර රැකියාවල් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලත් එපා වෙලා, සමාජයත් එපා වෙලා, ජීවිතය නැති කරගන්න මට්ටමට යන්නත් පුළුවන්. හැමෝම විශාදයට එනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ.”

ආතතියෙන් මිදෙන්නේ කොහොම ද? ප්‍රතිකාර මොනවා ද?
ඔහු පෙන්වා දුන්නේ, ආතතිය කළමනාකරණය කර ගැනීමේ ක්‍රම පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව ය. අධ්‍යාපන ක්‍රමය තුළ ම සමාජ කුසලතා සහිත පුද්ගලයින් බිහි කිරීම වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.

තව ද, ආයතනයේ තමා අවට සිටින අයෙකු ආතතියෙන් පීඩා විඳින බව හඳුනා ගතහොත් ඔහු හෝ ඇය මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකුගේ සහය ලබා ගැනීම සඳහා වහා ම යොමු කළ යුතු බව විශේෂඥ මනෝවෛද්‍යවරයා පැවසීය.

“මුල් අවස්ථාවේදී ආතතිය අඩු කර ගැනීම සඳහා උපදේශනය වැදගත්. ඊට වඩා උග්‍ර තත්ත්වයක් ආවොත් විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න.”

  • කළ යුතු දෑ කෙටියෙන්…
  • මානසික ආතතියේ මානසික හා කායික ලක්ෂණ හඳුනා ගන්න
  • දිනෙන් දින ඔබේ කාර්යක්ෂමතාව අඩුවේ දැයි සැලකිලිමත් වන්න
  • ආතතිය ඇති වුණ හේතුව පළමුවෙන් හඳුනා ගන්න
  • එය ඔබේ දක්ෂතාවයේ හෝ හැකියාවේ අඩුවක් ද බාහිර පරිසරයේ ඇති ගැටලුවක් ද යන්න හඳුනා ගන්න
  • ඔබේ දක්ෂතාවයේ හෝ හැකියාවේ අඩුවක් නම් ඒවා වර්ධනය කර ගැනීමට උත්සහ කරන්න
  • බාහිර පරිසරයේ ඇති ගැටලුවක් නම් එය තර්ජනයක් ලෙස නොව අභියෝගයක් ලෙස හඳුනා ගන්න
  • ඔබ දැනටමත් මානසික ආතතියකින් පෙළේ නම්, වැඩ කරන අතරතුර සුළු විවේකයක් ගන්න…
  • එම කාලයේදී ගීතයකට සවන් දීම, විනෝදාත්මක වැඩසටහනක් නැරඹීම වැනි සිත සැහැල්ලු කරන ක්‍රියාකරමක නිරත වන්න

රැකියාව කිරීමේදී ආතතිය ඇති වුවහොත් එය සඟවා ගෙන සිටිය යුතු ද?

විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පෙන්වා දුන්නේ, මානසික ගැටලු ඇතිවීම අපහාසයට හෝ උදහසට ලක් වන කාරණයක් නොවන බව ය. එය ඕනෑ ම කෙනෙකුට ඇති විය හැකි බව ඔහු සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, තමන්ට යම් පීඩනයක් ඇති නම් ඒ පිළිබඳව තමා ආදරය කරන කෙනෙකු සමග කතාබහ කිරීම ඉතා වැදගත් බව ත් ඉන් අනතුරුව ගැටලු විසඳා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව ත් ය.

“යම් කිසි කෙනෙකුට උග්‍ර මානසික ගැටලු තියෙනවා නම්, ඒ පිළිබඳව ලතැවෙවී ඉන්නේ නැතුව ඒ වගේ ම දුක් වේවී ඉන්නේ නැතුව, එය සහනයට පත් කර ගන්න අවශ්‍ය මානසික සෞඛ්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්.”

එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගන්න, ආයතනයකට හෝ සේවකයින්ට සිදු කළ හැකි දෑ මොනවා ද?
ආතතිය කෙනෙකුට ඇති වූ විටෙක එය අඩු කරගැනීම සඳහා ලබා දෙන සහයෝගය වැදගත් බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පෙන්වා දුන්නේ ය.

අදාළ සේවකයා රැකියාව කරන ආයතනයෙන් ලැබෙන සහය සහ සෙසු සේවකයින්ගෙන් ලැබෙන සහය ද ඊට බලපාන බව ඔහු පැවසීය.

“යහපත්ව සහ නිරෝගීව වැඩ කරන්න පුළුවන් පරිසරයක් ඇතිකර දීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක්. එවැනි අවස්ථාවකදී තමයි ආයතනයේ වැඩ කරන අයගෙන් වඩාත් කාර්යක්ෂමව සේවය ලබා ගන්න පුළුවන්.”

ඔහු අවධාරණයේ කළේ, සේවකයින්ගේ ශුභසාධනය පිළිබඳව සිටින බලධාරීන් සේවකයින්ගේ ආතතිය පිළිබඳව සහ ආයතනවල තත්ත්වය පිළිබඳව නිරතුරුව සොයා බලා ඒවා නියාමනය කළ යුතු බව ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්