නවතම පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 22ක මානව හිමිකම් ආරක්ෂකයන්ට වන හිංසන ගැන අනාවරණයක්

අසංක

අසංක

ආසියාව පුරා විහිදී සිටින මානව හිමිකම් ආරක්ෂකයින් විවිධාකාරයේ හිංසනයන්ට භාජනය වන බව මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA) පවසයි.

එම සංසදය මගින් අධීක්ෂණය කරන ආසියානු රටවල් 22 තුළ 2021-2022 වසර තුළ පමණක්, එවැනි හිංසනයන් 1,636ක් සිදු වී ඇතැයි එම සංසදය මගින් නිකුත් කරන ලද නව වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

එම රටවල් තුළ අදාළ වස‍රේදී පමණක් අවම වශයෙන් මානව හිමිකම් ආරක්ෂකයින් 4,450ක්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සංවිධාන හා ප්‍රජාවන් ඇතුළුව, රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශව අතින් සිදු කෙරුනු හිංසනයන්හි බලපෑමට ලක් වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

වසර දෙකකට වරක් FORUM-ASIA සංසදය මගින් නිකුත් කෙරෙන ‘Defending in Numbers: Rising Together Against All Odds’ ප්‍රකාශනයේ මේ බව හෙළිකර සිටී.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාව තුළ රටවල් 23 ක් හරහා ක්‍රියාත්මක වන මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA) සාමාජික සංවිධාන 85 කින් සැදුම්ලත් ජාලයකි.

එම රටවල් තුළ කටයුතු කරමින් සිටින මානව හිමිකම් ආරක්ෂකයින් අත්දකින, නොයෙක් ආකාරයේ අයුක්තීන් හා හිරිහැර පිළිබඳව මෙම වාර්තාව මගින් සංඛ්‍යාත්මක දත්ත වශයෙන් විශ්ලේෂණය කර තිබේ. මෙම ප්‍රකාශනය තුලින්, කලාපයේ මානව හිමිකම් ආරක්ෂකයන් මුහුණ පාන හිරිහැර සම්බන්ධයෙන් නැවත නැවත දක්නට ලැබෙන ප්‍රධාන රටාවන් හඳුනා ගනු ලබයි.

2021-2022 වසර තුළ මානව හිමිකම් ආරක්ෂකයින්ට සිදුවූ හිංසනයන් වැඩිම සංඛ්‍යාවක් මියන්මාරයෙන් වාර්තා වී ඇති අතර ඊළඟ ස්ථානයට පත්වන්නේ තායිලන්තය සහ ඉන්දියාව බව අදාළ වාර්තාව අනාවරණය කර තිබේ.

එහිදී වැඩියෙන්ම ඉලක්ක කෙරුණු කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් ලෙස හඳුනා ගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ඊළඟ ස්ථානයට ඉලක්කගත කණ්ඩායම වන්නේ කාන්තා මානව හිමිකම් ආරක්ෂක ක්‍රියාකාරීනියන් ය.

වැඩියෙන්ම වාර්තා වූ උල්ලංඝනය කිරීම ලෙස හඳුනා ගැනුනේ අධිකරණ ක්‍රියාවලියට අනුබද්ධ හිරිහැර බව එම වාර්තාවේ දැක්වේ. එවැනි වාර්තාගත සිද්ධීන් 1,033 ක් 2021-2022 වසර තුළදී අදාළ රටවල් 22 තුළ සිදුවී ඇතැයි වාර්තාවේ සඳහන් ය.

දෙවන ස්ථානය ලෙස කායික ප්‍රචණ්ඩ ක්‍රියා හඳුනාගෙන ඇත්‍තේ වාර්තාගත සිද්ධීන් 516 සමඟිනි.

ඉලක්කගත මිනීමැරුම් සිද්ධි 84 ක් මීට ඇතුලත් වන අතර මේ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා වැඩිම බලපෑමකට ලක්ව සිටියේ මාධ්‍ය ක්‍රියාකාරීන් බව ද එම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

මානව හිමිකම් ආරක්ෂකයින් බිය වැද්දීම් හා තර්ජනය කිරීමේ අවස්ථා ද දිගින් දිගටම දක්නට ලැබී ඇති අතර ඊට අදාළ වාර්තාගත සිද්ධීන් 316 ක් අදාළ වසර තුළදී වාර්තා වී ඇත.

මෙම වාර්තාව මගින් FORUM-ASIA යටතේ ඇති Asian_HRD_Portal_ලෙසින් හැඳින්වෙන ආසියානු කලාපයේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ දත්ත ගබඩාවට හසු කරගෙන ඇති, ඔවුන් මුහුණ පෑ හිංසනයන් කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි විශ්ලේෂණය කරයි.

තවද, එය රජයන්, එක්සත් ජාතීන්ගේ සංවිධාන හා සමාගම් වෙත, මානව හිමිකම් ආරෂකයන් හට වඩාත් සාර්ථක ලෙස සහාය විය හැකි විධි පිලිබඳ නිර්දේශ සපයයි.

COVID – 19 වසංගත තත්වය හා මුළු කලාපයම වෙලාගත් දේශපාලන කැළඹීම් හා විපර්යාසයන් නිසා නිර්මාණය වූ අලුත් අභියෝග හේතුකොට ගෙන, ආසියාව තුල දීර්ඝ කාලීනව පැවති ගැටලු තවත් උත්සන්න විය.

ඒ සමඟ මෑත කාලයේ, ආසියාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී ඇත.

මෙමගින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් වැඩ කළ යුතුව ඇත්තේ ඔවුන්ට සතුරු වූ වටපිටාවක් තුළ බව එම වාර්තාව පවසයි. එසේ තිබියදීත්, මානව හිමිකම් ආරක්ෂකයින්, යුක්තිය හා සමානාත්මතාවය වෙනුවෙන් නිරන්තරව අරගල කර ඇති බව FORUM-ASIA සංසදය පෙන්වා දෙයි.

2021 හා 2022 වසර තුල, මානව හිමිකම් ආරක්ෂකයන්, පෙර නොවූ විරූ තත්වයන්ට අනුගත වෙමින්, කලාපයේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ මුලික නියෝජිතයන් ලෙස ඔවුන්ගේ භූමිකාව තහවුරු කර ඇති බව එම සංසදය පවසයි.

FORUM-ASIA හි විධායක අධ්‍යක්ෂිකා වන මේරි අයිලීන් ඩී. බකල්සෝ පවසා සිටියේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ප්‍රකාශනය ඒකමතිකව පිළිගැනීමෙන් වසර 25ට පසුව, තවමත් සිදුවෙමින් පවතින, මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි හිංසනයන් ගැන කියවන මෙවැනි වාර්තාවක් එළිදැක්වීමට සිදුවීම කනගාටුදායක බවයි.

සාමකාමී ක්‍රියාමාර්ග හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සිදු කරන ඕනෑම පුද්ගලයෙක් ආරක්ෂකයෙක් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ආරක්ෂකයන්, කාන්නා මානව හිමිකම් ක්‍රියාකාරිනියන්, මාධ්‍ය ක්‍රියාකාරීන්, ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා අයිතීන් ආරක්ෂකයන්, භුමිය, ආදිවාසීන්, සොබාදහම ආශ්‍රිත ප්‍රජා – මූල අයිතීන් ආරක්ෂකයන්, ශිෂ්‍ය හා කරුණ අයිතීන් ආරක්ෂකයන්, රාජ්‍ය – නොවන සංවිධාන, සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂකයන් සහ කලාකරුවන් වැනි අය මීට ඇතුලත් වේ.

හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය

මූලික අයිතිවාසිකම් සුරැකීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තා කිරීම, සාපරාධී ක්‍රියා විමර්ශනය හා හෙළිදරව් කිරීම වෙනුවෙන්, මොවුන් ඔවුන්ගේ ජිවිත මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද අනතුරේ හෙලයි.

ආසියාවේ ආරක්ෂකයන්ට එරෙහිව සිදු වූ හිරිහැර අඩක්වත් අධිකරණය හරහා සිදු වූ හිරිහැර කිරීම් බව එම වාර්තාව පවසයි. අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හා හිර අඩස්සියේ තැබීම, නඩු විභාගයකට පෙනීසිටීමට ඉඩ නොදීම, ආරක්ෂකයන්ගේ අයිතීන් හා ක්‍රියාකාරකම්වලට බිය ගන්වා බලපෑම් කරන, බාධා කරන හෝ අවතක් සේරු කරන චෝදනා කිරීම් හා තර්ජනාත්මක අධිකරණ ක්‍රියා මේ අතර වන බව එම වාර්තාව පෙන්වා දේ.

වැඩියෙන්ම වාර්තා වූ හිංසනයන් යටතේ දෙවන ස්ථානය ගන්නේ කායික ප්‍රවණ්ඩ ක්‍රියායි. ඉන් පසුව, බිය ගැන්වීම් හා තර්ජනය කිරීම් වාර්තා වේ. පුළුල් ලෙස වාර්තා වී ඇති අනෙකුත් සිද්ධීන් අතරට – පරිපාලනමය හිරිහැර කිරීම්, සංචලන සීමා, හෙලා දැකීම් හා පැහැර ගැනීම් ඇතුලත් වේ.

පියවර ගැනීම

නවතම දත්ත ඉදිරිපත් කරමින්, මානව හිමිකම් ආරක්ෂකයන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම, එම සංසදයේ ඉල්ලීමයි.

උදාහරණයක් ලෙස, මියන්මාරය තුල මානව හිමිකම් ආරක්ෂකයන් – ගුරුවරු හා සිසුන් ඇතුළුව – රාජ්‍ය බලය ගැනීමේ කුමන්ත්‍රණ උත්සාහයට එරෙහිව දියත් කෙරෙන සිවිල් නීති කඩ කිරීමේ වර්ජන ව්‍යාපාරයට එකතු වි ඇත. ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් ආරක්ෂා කරන කාන්තා ක්‍රියාකාරිනියන්, තලයිබාන්වරුන්ගේ නිදහස හා අයිතීන් දරුණු ලෙස සිමා කිරීමේ පියවර වලට එරෙහි සටන් සඳහා නායකත්වය සපයති. එමෙන්ම ශ්‍රී ලංකාව තුල තරුණ මානව හිමිකම් ආරක්ෂකයන් හා ක්‍රියාකාරීන්, ආර්ථිකය අවපාලනයට වගකිව යුතු රටේ ඉහල පෙළ නායකයන්හට තනතුරු වලින් ඉවත් වන ලෙස, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඉල්ලා සිටියේය. එබැවින් මානව හිමිකම් ප්‍රවර්ධනයේදී හා ප්‍රජා අවකාශ ශක්තිමත් කිරීමේදී ඔවුන් අත්‍යවශ්‍ය භුමිකාවක් බව එම සංසදය අවධාරණය කරයි.

ඉන්දියානු පරිපාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ඉදිරි පෙළ මානව හිමිකම් ආරක්ෂකයෙක් මෙන්ම බලහත්කාරී ලෙස අතුරුදහන් කරවීම් වලට එරෙහි ආසියානු එකතු වේ (Asian Federation Against Involuntary Disappearances) සභාපති ධුරය දරන – අද වන විට ඔහුගේ අවිහිංසාවාදී මෙහෙයුම් නිසා සිරභාරයේ රඳවා තබා ඇති – බුරාම් පාර්වේස් මේ සම්බන්ධයෙන් අවධානය හිමි විය යුතු උදාහරණයකි. 2022 දී Time සඟරාවේ වසරේ බලවත්ම පුද්ගලයන් 100 ලැයිස්තුවට ඔහු ඇතුලත් විය. 2021 වසරේ නොවැම්බර් මස සිට ඔහු නඩු ඇසීමකින් තොරව සිරගත කර ඇත.2023 වසරේ මුල දී ඔහු Martin Ennals සම්මානයෙන් පිදුම් ලබන ලදී. මානව හිමිකම් ආරක්ෂකයන්ගේ භූමිකාව පිළිගැනීමත් ඔවුන්ට සහාය දීමත් අතිශයින්ම වැදගත් බව මෙම උදාරණ මගින් එම සංසදය පෙන්වා දෙයි.

මානව හිමිකම් ආරක්ෂකයන් ආරක්ෂාවට හා ඔවුන්ට සහාය දැක්වීමට ඔවුන්ගේ කාර්යභාරය නිදහස් ව හා ආරක්ෂිතව සිදු කිරීමට මෙන්ම බිය, තර්ජන හා හිරිහැර කිරීම් වලින් තොරව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය අනුබල දීම හරහා, රජයන් බැඳී සිටින අන්තර්ජාතික සම්මුතීන් වලට බැඳීම් වලට – විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන් පිලිබඳ ප්‍රකාශය (UN Declaration on HRDs) යටතේ වගවන ලෙසට FORUM-ASIA සංසදය ඒ ඒ රටවල රජයන් ගෙන් ඉල්ලා සිටි.

තවද, සියලු මානව හිමිකම් ආරක්ෂකයන් වහාම නිදහස් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඉවත් කරන ලෙසත් එම සංසදය වැඩිදුරටත් ඉල්ලා සිටි.

FORUM- ASIA පර්යේෂණ කටයුතු, ප්‍රවර්ධන කටයුතු, ධාරිතා වර්ධනය හා සහයෝගිත ක්‍රියා පිළිවෙත් හරහා මානව හිමිකම් හා තිරසාර සංවර්ධනය උදෙසා වූ ව්‍යාපාර ශක්තිමත් කිරීමට 1991 වසරේ පිහිටුවන ලදී. FORUM-ASIA සංවිධානය එක්සත් ජාතීන්ගේ ආර්ථීක හා සමාජයීය කවුන්සිලය සමඟ උපදේශක තනතුරක් ද, ASEAN මානව හිමිකම් සම්බන්ධ අන්තර් කොමිසම සමග උපදේශනාත්මක සම්බන්ධතාවක් ද පවත්වයි.

‘Defending in Numbers: Rising Together Against All Odds’ සම්පූර්ණ ප්‍රකාශනය 👉 මෙතැනින් 👈

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්