තමන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව හඬනැගීමට , මිනිසුන්වූ අපට කිසියම් හෝ හැකියාවක් ඇත . එම අසාධාරනකම් ගැන තවත් කෙනෙකුට පැහැදිලිකරදීමට හෝ ඊට එරෙහිව පෙළගැසීමට අපට හැකියාවක් ඇත . නමුත් එම හැකියාව සතුන්ට ඇත්තේ නැත . තමන් වෙනුවෙන් හඬක් නැගීමට සතුන්ට නොහැක. හඬක් නොමැති එම අසරණ සතුන් වෙනුවෙන් හඬක් නැගීම මිනිසුන් වශයෙන් අප සතු වගකීමකි යුතුකමකි .
නමුත් මෑත කාලීනව තිරිසන් සතුන්ට එරෙහිව සිදුවන්නාවූ මිලේච්ඡ ක්‍රියාවන් උදෙසා මිනිසු තුලින් හඬක් නැගෙන්නේ ඉතා අල්ප වශයෙනි . ඒ වෙනුවෙන් වූ සත්ත්ව හිංසනය පිටුදැකීමේ සංවිධාන කිහිපයක් මෙන්ම පුද්ගලයන් කිහිපදෙනකු හැරුණු විට ඒ සඳහා හඬ නගන්නා වූ යම් කෙනෙක් සිටී දැයි සැක සහිතය.
සත්ව හිංසනය යනුවෙන් හදුන්වන්නේ මිනිසෙකු විසින් මිනිස් නොවන සත්වයෙකු කෙරෙහි වූ හිංසනය හා වේදනා නොසළකා හැරීමත්, එවැන්නකට අනුබල දීමත් ය. පුළුල් ව සිතා බැලීමේදී, කිසියම් අරමුණක් සහිතව සතුන්ට හිංසා කිරීම, උදාහරණ වශයෙන් විනෝදයට සතුන් මැරීම වැනි දේ දක්වාම සත්ව හිංසනය ව්‍යාප්ත වේ.
ලොව පුරා අධිකරණවල, සත්ව හිංසනය පිළිබඳ නීතිවලට විවිධ වූ ප්‍රවේශයන් දක්නට ලැබේ. නිදසුනක් වශයෙන්, සමහර නීති මගින් ආහාර, ඇදුම් පැළදුම් හෝ වෙනත් නිෂ්පාදන සදහා සතුන් මැරීමේ ක්‍රම පාලනය කරනු ලබන අතර අනෙකුත් නීති මගින් විනෝදය අධ්‍යාපනය , පර්යේෂණ හෝ සුරතල් සතුන් ලෙස තබාගැනීම සම්බන්දයෙන් සැළකිලිමත් වේ. සත්ව හිංසනය පිළිබඳ සංකල්පීය ප්‍රවේශයන් ගණනාවක් තිබේ.
සත්ව සුභසාධන ස්ථාවරයක් දරන ඇතැමුන්ගෙ මතය වන්නෙ ආහාර, ඇදුම් පැළදුම්, විනෝදාස්වාදය සහ පර්යේෂණ වැනි මානව අරමුණු සදහා සතුන් භාවිතා කිරීමෙ වරදක් නොමැති නමුත් එය අනවශ්‍ය වේදනා හා දුක් අවම වන ආකාරයට එනම් “මානුෂීය” ලෙස කළ යුතු බවයි. තවත් සමහරු තර්ක කරන්නෙ “අනවශ්‍ය” යන්නෙහි අර්ථ දැක්වීම පුළුල් ලෙස වෙනස් වන බැවින් සතුන්ගෙ සියලු භාවිතයන් මෙයට පාහේ ඇතුළත් විය හැකි බවයි.
පිරිවැය සහ ප්‍රතිලාභ පිළිබඳ ස්ථාවරයෙන් උපයෝගිතාවාදී උපදේශකයින් තර්ක කරන අතර සතුන්ට ඉඩ දිය හැකි ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔවුන්ගේ නිගමන වෙනස් වේ. සමහර උපයෝගිතාවාදීන් සත්ව සුභසාධනය වැනි ප්‍රවේශයක් ගන්නා අතර තවත් සමහරු මෙයට සත්ව අයිතිවාසිකම් වැනි ප්‍රවේශයක් ගනී. සත්ව අයිතිවාසිකම් න්‍යායවාදීන් “අනවශ්‍ය” සහ “මානුෂීය” යන වචන පුළුල් ලෙස අර්ථ නිරූපණය කළ හැකි බව පවසමින් සතුන්ට මූලික අයිතිවාසිකම් ඇති බවට තර්ක කරති. ඔවුන්ගේ මතය වන්නෙ බොහෝ සත්ව භාවිතයන් අනවශ්‍යය බවත් එය සතුන්ට වේදනාවක් විදීමට හේතුවක් බවත්, එබැවින් සතුන්ට ආරක්ෂාව සහතික කිරීම සදහා එකම ක්‍රමය දේපළක් ලෙස ඔවුන් නොසලකා, එනම් ඔවුන් කිසිවිටෙකත් ද්‍රව්‍යක් ලෙස හෝ ජීවී ද්‍රව්‍යක් ලෙස භාවිතා නොකිරීමට වග බලා ගැනීමයි.
ශ්‍රී ලංකාවේ අලින් සහ සුනඛයන් හිංසනයට ලක් වන්නා වූ ප්‍රධානතම සත්ත්ව කොට්ඨාස වේ. ශ්‍රී ලංකාව තුළ සිදු වන්නාවූ සත්ව හිංසනය වළක්වාලීම සඳහා සත්ව හිංසන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තවමත් නොහැකිව ඇත .
සත්ව හිංසනය සම්බන්ධ හුදෙකලා සිදුවීම් පිළිබඳ මාධ්‍ය වාර්තා පසුගිය කාලයේ පළවනු දැකගත හැකි විය. ඒ අතුරින් 2019 වර්ෂයේ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ සුනඛයකු වෙඩි තබා මරා දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවීමත් සමග නැවතත් සත්ව සුබසාධන පනත පිළිබඳව හා සතුන්ට හිංසාකිරීම පිළිබඳ විශාල විරෝධතාවයක් සිවිල් සමාජය තුළින් පැන නගින්නට විය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම මෙම සත්ත්ව හිංසන පනත් කෙටුම්පත ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබීම සම්බන්ධව මාධ්‍ය වාර්තාකරනු ලැබුවද එය ද යටපත් විය. සත්ව ආඥා පනත, සත්ව හිංසා ආඥා පනත හා ගෝ ඝාතක පනත යටතේ විශේෂිත වූ වැරදි හා සම්බන්ධයෙන් පොලිසියට වගකීමක් හා කාර්යභාරයක් තිබුණ ද සත්ත්ව හිංසනය පාලනය හෝ වැළැක්වීමට හැකිවී නොමැතිවීම ද බරපතළ කාරණාවකි.
සත්ත්ව හිංසා මෙන්ම සතුන්ට නිදහසේ ජීවත් වීම සඳහා සතුන්ගේ අයිතිය තහවුරු කිරීම පිළිබඳව නීති වර්තමානයේ පවතී. එනම්, 1893 අංක 9 දරන ගෝ ඝාතන ආඥා පනත, 1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනත, 1958 අංක 29 දරන සත්ව ආඥා පනත වේ. මෙහි පවත්නා බරපතළ ගැටලුව වන්නේ එකී පනත් යාවත්කාලීන නොවීමයි. 1907 අංක 13 දරන පනතට අනුව සත්ත්ව ඝාතනයන් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් පැනවිය හැකි උපරිම දඩ මුදල රුපියල් 100 කි.1907 වර්ෂයට අදාළව එය විශාල මුදලක් ලෙස අර්ථ දැක්විය හැකි වුවද වර්තමානයේ ඉතා සුළු මුදලකි.
මෙහි වරද සෘජුවම එල්ල කළ යුතු වන්නේ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බලයට පැමිණි පාලකයන් වෙතය. තත්කාලීනව පැරණි පනත් යාවත්කාලීන නොකිරීම තුළින් සත්ව හිංසනය වර්ධනය වී ඇත. මෙලොව ජීවත්වන සියලුම සත්ත්ව කොට්ඨාස අතුරින් බුද්ධිමත් සත්ත්වයා වූ මිනිසා මෙම තත්ත්වය වටහාගෙන මෙවැනි පනත් යාවත්කාලීන නොකරන්නේ නම් ඔවුන්ගේ බුද්ධිමත් බවින් ඇති ඵලක් නොමැත. මෙවැනි යල් පැනගිය නීති ඉහ මුදුනින් තබා සිටීම නිසා සිදුව ඇත්තේ මිනිසාගේ කෲරකම්වලට අසරණ අහිංසක සතුන් දිනෙන් දින ලක්වීම වර්ධනය වීමය.
සුනඛයින්ට සිදුවන හිංසනයන් ගැන මේ දිනවල නිතර අසන්නට ලැබේ . ඉදිරියේදී මෙය තවදුරටත් ව්‍යාප්ත විය හැක. මන්ද සත්ත්ව හිංසනයට එරෙහිව නීතිය අදාළ වන්නාවූ පනතේ පවත්නා දුර්වලතා නිසාය. එසේත් නැතිනම් සත්ව හිංසනය යන වරද යටතේ දඬුවම් ඉතා ලිහිල් බැවිනි.
එහිදී සුනඛයාට හිංසා කිරීම මෙන්ම වඳවීමේ තර්ජනයන්ට මුහුණපා ඇති සතුන් දඩයම් කිරීම බරපතළ කාරණාවකි. 1907 අංක 13 දරන සත්ත්ව හිංසා ආඥා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව කුරුල්ලන්, මත්ස්‍යයන්, උරග වර්ගයේ සතුන් ඇතුළු සියලුම ගෘහස්ථ හා අල්ලාගත් සතුන්ට හිංසාකිරීම තහනම් වේ. මෙහිදී සතුන් නිරාහාරව තැබීම, ඔවුන්ව තුවාලවන අයුරින් සිරකර තැබීම, වද හිංසා පැමිණවීම, නොසැලකිලිමත්කම හේතුකොටගෙන සතුන් වේදනාවට පත් කිරීම යනාදිය මෙන්ම අනවශ්‍ය පරිදි වේදනා විඳීමට අවස්ථා සලසා දෙමින් යම් වාහනයකින් රැගෙන යෑම පවා නීතිමය වරදක් වේ.
නිදසුනක් ලෙස වර්තමානයේ ව්‍යාපාරයක් මෙන්ම මෝස්තරයක් ලෙස මිල අධික වර්ගයේ සුනඛයන්ගේ වලිගය කපා දැමීම ද වරදක් වේ. නමුත් මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාව තුළ කොතෙකුත් සිදුවන හිංසනයන් වුවද ඒවාට කිසිදු දඬුවමක් ක්‍රියාත්මක වන්නේද නැත. දඩුවම් නොමැතිකම හේතුවෙන් ගෘහාශ්‍රිත සතුන් දැඩි පීඩාවට පත්වන අතරම එම පීඩාවට පත්වන අයුරු පටිගතකර සමාජජාල මාධ්‍යයට මුදාහැරීම ප්‍රවණතාවක් බවට පත්ව ඇත.
පැරණි පනත් යාවත්කාලීන නොවීම, එමෙන්ම නව පනත් සම්මත නොවීම යන කාරණා සඳහා තිබෙන්නා වූ බාධක සුළුපටු නොවේ. ඒවා එක්තරා ආකාරයක මාෆියාවක් ලෙස අර්ථකථනය කළාට ද වරදක් නොමැත. අප රට තුළ මහා පරිමාණ වශයෙන් කුකුළු කොටු, ඌරු කොටු මෙන්ම මාංස ආහාර පිණිස පවත්වාගෙන යනු ලබන සත්ත්ව ගාල්වල හිමිකරුවන් මේ පිටුපස අදිසි හස්තයක් ලෙස ක්‍රියාත්මක වේ. හේතුව වන්නේ පසුගිය ආණ්ඩු සමයේ සම්මත නොවූ පනත් කෙටුම්පත තුළ සත්ත්ව සුභසාධනය හා සම්බන්ධ කරුණු රාශියක් අන්තර්ගතව තිබූ බැවිනි.
1893 අංක 3 දරන ගෝ ඝාතක පනත යටතේ ගව ඝාතනය සඳහා බලපත්‍ර ගැනීමේ සිට මාංස අලෙවි කිරීම දක්වා නීති සමුදායක් පවතී. එමෙන්ම, එකී පනත යටතේ ගවයන් ඝාතනය කළ හැක්කේ දහවල් කාලයේදී පමණි, එසේ ඝාතනය කිරීමට පෙර පැය 24ක කාලයක් තුළ මහජනතාවට පෙනෙන සේ එම ගවයා ප්‍රසිද්ධියේ තැබිය යුතුය. පනත්වල සඳහන් මෙම නීති ඒ ආකාරයෙන්ම සිදුවන්නේද යන්න ගැටලු සහගතය. වර්තමානයේ සිදුවන්නේ පනත තුළ සඳහන් නීතිමය වරද සිදුකොට ගෙවිය යුතු සුළු දඩය ගෙවා දැමීමය.
පැරණි පනත සංශෝධනය කිරීමෙන් හා නව පනතක් ගෙන ඒමෙන් මෙවැනි ආකාරයේ සත්ව හිංසනයන් වළක්වා ගත හැකි අතර එවැනි මාංස සඳහා සතුන් ඇතිකිරීමේදී විවිධ ප්‍රමිතීන්ට අනුගත කළ හැකිය. විශාල නීති හා ප්‍රමිති සමුදායකට අනුගතවීමේදී ව්‍යාපාරිකයන්ට දැරූ පිරිවැයට වඩා වැඩි ප්‍රමාණයක් දරන්නට සිදුවන නිසාවෙන් ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් උත්සාහගනු ලබන්නේ යාවත්කාලීන වීමට නියමිත හෝ සම්පාදනය වන්නට නියමිත පනත අකුලාගත හැකි ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීමය. ඔවුන් ඒ සඳහා දේශපාලන සහයෝගය ද ලබාගනී. එබැවින් මෙවැනි යාවත්කාලීන විය යුතුම පනත් කුණු කූඩයට විසිවන්නේ නිරායාසයෙනි.
ප්‍රතිපත්තියක් සම්පාදනය වීම උදෙසා සිවිල් සමාජයේ කිහිප තැනකින් ඉල්ලීම් පැමිණීයද එයට දේශපාලන සහයෝගය නොමැතිනම් ඉන් කිසිඳු ඵලක් නොමැත. පූර්ව මැතිවරණ සමයක සත්ව හිංසාව පිළිබඳ කිසිඳු දේශපාලන වේදිකාවක සාකච්ඡාවක් නොමැත. මෙම මහපොළොව යනු මිනිසාට පමණක් අයිතිවන්නා වූ වස්තුවක් නොවන අතර එහි උරුමක්කරුවන් ලෙසට සියලු තිරිසන් සතුන් ද ප්‍රධාන වේ.
1907 සම්පාදනය වූ අංක 13 දරණ සත්ත්ව හිංසා ආඥා පනත මුල්කාලීනව කිහිපවරක් සංශෝධනය වී තිබුණද වර්තමානයේ කිසිඳු යාවත්කාලීනවීමකින් තොරව පැවතීම දියුණු දේශපාලන සංස්කෘතීන්ට නොගැළපෙන්නකි. නූතන පාලකයන් හඩ නගනුයේ ගෝලීයකරණය තුළ රට ඉදිරියට යෑම ගැනය. බලගතු ජාතීන් සමගින් උරෙනුර ගැටෙමින් කටයුතු කරන අන්දම පිළිබඳවය. නමුත් 1907 සම්මත පනතක් යාවත්කාලීන කරගත නොහැකි තත්ත්වයේ දුර්වලත්වයකට වත්මන් පාලන තන්ත්‍රයන් පත්වීමද හාස්‍ය උපදවන්නා වූ කාරණාවකි, කනගාටුවට කරුණකි .
( පැතුම් වික්‍රමරත්න )