සැප්තැම්බර් 1 වැනිදා තෙක් හරීන්ට සහනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා වන තෙක් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහතික වී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා  පොලිස් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලමින් නියෝගයක් ඉල්ලා හරින් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දන්වා ඇත.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා තම මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් තවදුරටත් දන්වා තිබුණේ 2019 අප්‍රියෙල් 21 දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමාගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති බවය.

මෙම ප්‍රකාශ මගින් තමන් අදහස් කළේ වයස්ගත තම පියා දැඩි සේ රෝගාතුරව රෝහලේ පසුවෙද්දීත් මෙම ප්‍රහාරය පිළිබඳව දැනගත් බලධාරීන් මුළුමනින්ම නොදන්නා බවක් පෙන්වූ නිසා බවද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් තමන්  ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ කළ බවත්ය.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල  සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.