නවතම පුවත්

සිරි දළදාවට , නිසි ගෞරව දෙන “දළදාභිවන්දනා”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී දළදා වහන්සේ මෙරට වැඩ සිටි පූජනීය ස්‌ථාන , සංරක්‍ෂණය කිරීම , සංවර්ධනය කිරීම මෙන්ම , එම ස්ථානයන් වෙත ලැබිය යුතු නිසි ගෞරවය යලි ලබාදීම අරමුණු කරගනිමින් , ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය හා චමිල දිලාන් කෝණාර පදනම එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .

“දළදාභිවන්දනා” නමින් නම් කර ඇති මෙම වැඩසටහනේ මූලික අදියර යටතේ , මෙරට තුල ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්ථාන පිළිබඳ සියලු දත්ත විස්තර හා තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇත .

මෙම පූජනීය ස්ථානයන්හි , දළදා වහන්සේ වැඩසිටි කාලයන්හීදී , එම ස්ථානවල සිදුකෙරුණු පුදපූජා වත් පිළිවෙත් මෙන්ම උතුම් දළදා පෙරහර මංගල්‍යයන් නැවත ආරම්භ කිරීමට මෙම “දළදාභිවන්දනා” වැඩසටහන යටතේ කටයුතු සැලසුම් කර ඇත .

මෙම වැඩසටහන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘චමිල දිලාන් කෝණාර පදනමේ නිර්මාතෘ හා සභාපති මෙන්ම දෙල්ගමුව රජ මහා විහාරයේ හිටපු බස්නායක නිළමේතුමන් වන චමිල දිලාන් කෝණාර මහතා මෙසේ පැවසීය.

” උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි දළදා මන්දිරයන් ඇතුළු පූජනීය ස්ථාන රැසක් මෙරට තුල තිබෙනවා . එම ස්ථාන සංරක්ෂණය කර ගැනීම , ශ්‍රී ලාංකික බෞද්ධයින් ලෙස අප වෙත පැවරී ඇති වගකීමක් . ඇතැම් ස්ථානයන් මේ වනවිට ගරාවැටිලා , එම ස්ථාන වහා පිළිසකර කල යුතුව තිබෙනවා . ඒවායේ අතීත ශ්‍රී විභූතිය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමටද කිසිදු හානියක් නොවන පරිදි මෙම සංවර්ධන කටයුතු හා පිළිසකර කිරීම කල යුතුයි . ඒ සඳහා අපගේ පදනම දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා “

චමිල දිලාන් කෝණාර මහතා

දළදා පෙරහැර මංගල්‍යයන් ප්‍රධාන වත් පිළිවෙත් නැවත ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින් කෝණාර මහතා පැවසුවේ මෙවැන්නකි ,

” මෙම පූජනීය ස්ථාන වෙත පෙරදී ලැබුණු ගෞරව බුහුමන් නැවත ලබාදිය යුතුයි . ඒ අනුව එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දළදා පෙරහැර මංගල්‍යයන් නැවත ආරම්භ කිරීමටද අප කටයුතු කරනවා . මෙහිදී පෙරහැර පවත්වන්නේ සංඛේතාත්මක ලෙසයි . මෙහිදී අප එම ස්ථානවල වැඩසිටින නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ අනුශාසනා යටතේ තමයි කටයුතු කරන්නේ

දළදා වහන්සේ එම ස්ථානවල වැඩ උන් කාලයේ පැවති ආකාරයටම පෙරහැර පැවැත්වීම පහසු නැහැ . උදාහරණයක් විදියට ඇතැම් දළදා පෙරහරයන් සඳහා අලි ඇතුන් මෙන්ම අශ්වයින්ද 480ක් පමණ සහභාගිවූ බව සඳහන් , නමුත් අප එම අතීතය සිහිපත් කරලීම හා ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අලි ඇතුන් හා අශ්වයින් කිහිපදෙනෙකු හෝ යොදාගනිමින් පෙරහැර මංගල්‍යයන් පැවැත්වීමට කටයුතු කරනවා.

එසේම මෙම පෙරහැර මංගල්‍යයන් හීදී එකල මෙන් දළදා වහන්සේ වැඩමවීමක් සිදුකෙරෙන්නේ නැහැ . ඒ වෙනුවට සර්වඥ ධාතු වැඩමවීමක් තමයි සිදුකෙරෙන්නේ . නමුත් අනෙකුත් සියලු වත් පිළිවෙත් එලෙසින්ම ඉටුකරමින් , උපරිම ගෞරවය , බුහුමන් සැලසෙන ආකාරයෙන් මෙම දළදා පෙරහැර ප්‍රතිනිර්මාණය කිරීමට අප අදහස්කර තිබෙනවා .”

මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට මුල්වූ කරුණු පිළිබඳව අදහස් දක්වමින් කෝණාර මහතා මෙසේ සඳහන් කළේය .


” මෙම වැඩසටහන හරහා සමාජයීය, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන්ද රටට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා . විශේෂයෙන්ම විදෙස් සංචාරක ආකර්ෂණය නිතැතින්ම මෙවැනි වැඩසටහන් සඳහා ලැබෙනවා . නුවර දළදා පෙරහරට ලැබෙන සංචාරක ආකර්ෂණයෙන් කොටසක් හෝ මෙම පෙරහරයන් සඳහාද ලැබුනොත් එය මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද විශාල දායකත්වයක් සපයාවි.

ඒවගේම දළදා පෙරහැර කියන්නේ සංස්කෘතික මංගල්‍යයක්. ඊට පාරම්පරික කලාකරුවන් , නිර්මාණකරුවන් , විවිධ ශිල්පීන් ශිල්පිනියන් රාශියක් එක්වෙනවා . ඒ හරහා එම පාරම්පරික කලාකරුවන්ට ශිල්පීන්ට , නිර්මාණකරුවන්ට තම ජීවිකාව ඉදිරියට ගෙනයාමට රුකුලක් ලැබෙනවා . ඔවුන්ගේ ආදායම් ඉහල යනවා . එසේ ස්ථීර ආදායම් මාර්ගයන් එම පාරම්පරික කලාකරුවන් වෙත හිමිවනවිට , තරුණ පිරිස්ද මෙම කලාවන් කරා , විශ්වාසයෙන් යුතුව යොමුවෙනවා . එම කලාවන් වියැකී යා නොදී රැකගැනීමට එය අතිශය වැදගත් වෙනවා .

එපමණක් නොවේ , එම පෙරහැර පවත්වන ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකයටද මෙවැනි වැඩසටහන් හරහා විශාල තල්ලුවක් ලැබෙනවා . මෙවැනි වැඩසටහන් හරහා දෙස් විදෙස් සංචාරකයින් , බැතිමතුන් විශාල වශයෙන් මෙම ප්‍රදේශ වෙත ඇදී එනවා . ඒ හරහා ප්‍රදේශයේ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ,වෙළඳ ප්‍රජාවට අවස්ථා රැසක් උදාවනවා.

අපගේ පාරම්පරික කළා ශිල්ප හා සංස්කෘතිකාංග රැක ගැනීමටත් මෙවැනි වැඩසටහන් දායක වෙනවා . එයද අපගේ මෙම වැඩසටහන ආරම්භ කිරීමට මුල්වූ ප්‍රධානතම අරමුණක් . අතීතය අමතක ජාතියකට අනාගතයක් නැහැ , ඒවගේම රටක වර්තමානය වගේම අනාගතයද ගොඩනැගෙන්නේ ඒ රටේ ඉතිහාසය මතින් . අපගේ පාරම්පරික උරුමයන් අප රැකගත යුතුයි . ඒවා අනාගතයට දායාද කල යුතුයි . ගසක් ශක්තිමත්ව ඉහලට යන්න නම් , මුල හොඳින් තිබිය යුතුමයි .
ශතවර්ෂ ගණනාවක් පැවැත්වූ මෙම දළදා පෙරහරයන් හා වතාවත් , පුද පූජා නැවත ආරම්භ කිරීම රටටත්, ජාතියටත් විශාල ආශිර්වාදයක් වන්නේ එලෙසයි .”

අතීතයේ පැවති දළදා පෙරහැරක දසුනක් .

මෙම සුවිශාල කර්තව්‍ය සඳහා ආධාර උපකාර කරන පාර්ශව ගැනද සිහිපත් කරමින් කෝණාර මහතා මෙසේ පැවසීය ,

අප මේ ආරම්භ කරන්න යන්නේ එසේ මෙසේ වැඩසටහනක් නොවේ. එය විශාල මුදලක් , ශ්‍රමයක් වැයවන , දැවැන්ත ව්‍යාපෘතියක් . දැනට ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය මේ සඳහා අපිට සහය දෙනවා, විශේෂයෙන්ම ජාත්‍යන්තර ආයතන හා සංවිධාන වල සහයෝගය අප වෙත ලබාගැනීමට අදාළ සම්භන්ධීකරණ කටයුතු ඔවුන් විසින් සිදුකරනවා. දැනටමත් ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක්ම මෙම දැවැන්ත වැඩසටහනට අපට සහය දීමට එකඟතාවය පළකර තිබෙනවා . රාජ්‍ය ආයතනද මේ සඳහා එක්කරගැනීමට අප ඉදිරියේදී කටයුතු කරනවා . මේ වැඩසටහන පූර්ණ ලෙස සාර්ථක කරගන්න නම් , ඒ සැමගේ උදව් අවශ්‍යයි , විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි . මෙය එතරම්ම විශාල වැඩසටහනක් . සියල්ලටම ප්‍රථම මෙම වැඩසටහන සඳහා මහනාහිමිවරුන්ගේ අනුශාසනා හා ආශීර්වාද ලබාගැනීමටද අප බලාපොරොත්තු වෙනවා

චමිල දිලාන් කෝණාර මහතාගේ පියාණන් වූ මුදියන්සේ කෝණාර මහතා , සබරගමු මහ සමන් දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ සහ පරිපාලන ලේකම්වරයා ලෙසද , රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයා ලෙසද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම්වරයා ලෙසද රටට දැයට ඉමහත් සේවයක් කල , ගෞරනීය චරිතයකි .

පියාගේ අඩිපාරේම යමින් සිටින චමිල දිලාන් කෝණාර මහතා මේ වනවිට ඓතිහාසික ශ්‍රී දෙල්ගමු රාජ මහා විහාරයේ මෙන්ම ඓතිහාසික බෙන්තොට ගලපාත රජමහා විහාරයේද බස්නායක නිළමේ ධූරය හොබවා ඇත .ඉඩම් හිමි වැවිලිකරුවෙකු මෙන්ම මැණික් ව්‍යපාරිකයෙකුද වන ඒ මහතා , තම පදනම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය ,

මම මේ පදනම පිහිටවුයේ රටට දැයට විශේෂයෙන්ම බුද්ධ ශාසනයට සේවයක් කිරීමේ අරමුණින් . මගේ පියාණන් මට දුන් ඔවදන එයයි . ඒ ඔවදන අනුව යමින් තමයි අපගේ පදනමේ මුල්ම වැඩසටහන ලෙස මෙම “දළදාභිවන්දනා” වැඩසටහන ආරම්භ කලේ . අපේ රටට , අපේ දැයට දළදා සමිඳුගේ පිහිට ආරක්‍ෂාව හැමදාම ලැබෙනවා . ඒ වෙනුවෙන් උන්වහන්සේටත්, හැකි උපරිමයෙන් ගරු බුහුමන් දැක්වීම අප සැමගේම යුතුකමක් ලෙස මට හැඟෙනවා. ශ්‍රී දළදා වහන්සේට ලැබිය යුතු ගෞරවය නිසි පරිදි ලබා නොදීම , රටට අසුභ ඵල ගෙනදෙන්නක් බව මගේ අදහසයි . ,

සටහන – තුෂී පෙරේරා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්