හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීම මගින් පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන, අත්අඩංගුවට ගැනීම් හෝ කිසිඳු ත්‍රස්ත ක්‍රියාවක් මැඩලීමට බලපෑමක් නොවන බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව අවධාරණය කළේ නීතිය පිළිබඳ අවබෝධයක් නොමැති ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳ වැරදි ප්‍රචාරය කරන බවයි.
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමෙන් පාස්කු ප්‍රහාරයට අදාලව තහනමට ලක්වූ සංවිධාන 3 හි තහනම ඉවත් වන බවත් එම විමර්ශනවලට අදාළව ආරක්ෂක අංශ භාරයේ රඳවාසිටින ත්‍රස්ත සැකකරුවන් 200ක් පමණ මුදාහැරෙනු ඇති බවත් වැරදි ප්‍රචාර පළකර ඇතැයි පොලිස් ප්‍රකාශකවරයා පැවැසීය.
පාස්කු ප්‍රහාරය හේතුවෙන් පසුගිය මැයි මාසයේදී සංවිධාන 3ක් තහනම් කෙරිණ. එම තහනම සිදු කර තිබුණේ 2123 අංක දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.
ඊට අදාලව සැකකරුවන් රඳවා සිටින්නේ ද 1979/48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන යටතේ බැවින් මෙම ක්‍රියාමාර්ග සඳහා හදිසි නීතිය කිසිවිටෙකත් බලනොපාන බව පොලිස් ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
පාස්කුඉරිදා ප්‍රහාරයට අදාළව මෙන්ම සියලු ත්‍රස්ත ක්‍රියා වැලැක්වීමේ සියලු පියවර තවදුරටත් ක්‍රියාත්මක වන බවත් දැනට රඳවා සිටින කිසිදු සැකකරුවකුට ඉන් බලපෑමක් නොවන අතර ත්‍රස්තයන්ගේ දේපළ තහනමට හෝ හදිසි නීතිය බලනොපාන බවත් හෙතෙම කියාසිටියි.
එම සියලු කටයුතු ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන යටටේ පවතින ප්‍රතිපාදන මත ඉදිරියටත් ක්‍රියාත්මක බව හෙතෙම අවධාරණය කළේය