හදිසි නීති රෙගුලාසි පිළිබඳ මැතිසබේ විවාදය ලබන 6 වැනිදා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය ලබන 06 වන සදුදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළව මෙම හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබීය.

තවද පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සැප්තැම්බර් 06 සහ 07 දෙදින පමණක් පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.

මීට ප්‍රථම ලබන 06 වන සදුදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබූ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරනු ඇත.

ලබන 07 වන අගහරුවාදා දින පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත(දෙවැනිවර කියවීම), මුදල් පනත් කෙටුම්පත(දෙවැනිවර කියවීම), නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් විවාදයට ගැනීමට නියමිතය.

‍ඉන්අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.