* වැඩිම මුදල ආරක්ෂාවට
* ජනපති වියදම් බිලියන 6කින් කපලා
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 2,505ක් ලෙස (2,505,346,558,000.00) පාර්ලිමේන්තුවට ඊයේ (7) ඉදිරිපත් කරන ලද අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇස්තමේන්තුගත කර තිබේ. එය ගෙවුණු වර්ෂයට සාපෙක්ෂව රජයේ වියදම රුපියල් බිලියන 173කින් අඩුකිරීමකි. 2021 වසරේ අයවැයෙන් වෙන්කළ රජයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2678ක් විය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් ආරක්ෂක, මුදල් සහ අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි කර ඇති අතර ජනාධිපති කාර්යාලයේ සහ සෞඛ්‍ය වැය ශීර්ෂ මෙවර අඩුකර තිබේ.
කෙටුම්පතේ රු. බිලියන 1,776.40 ක් පුනරාවර්තන වියදම් හා රු. බිලියන 728.94 ක් මූලධන වියදම් වශයෙන් වර්ගීකරණය කර ඇත.
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා යන ආයතන වල වියදම් ඇතුළත් වන පොදු සේවාවන් සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 12.6කි.
2021 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78 කි. එය ගෙවුණු වසරට සාපේක්ෂව ලබන වසර සඳහා ජනාධිපතිවරයාගේ වියදම රුපියල් බිලියන 6.6 කින් අඩු වීමකි.
2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන් කර ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙනි. එම මුදල රුපියල් බිලියන 373 කි. එය ගෙවුණු වසර ට වසරට සාපේක්ෂව රුපියල් බිලියන 18 කින් වැඩි වීමකි.
රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට ලබන වසරට රුපියල් බිලියන 286.7ක් වෙන් කර ඇති අතර, ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම් වේ.
මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 250.1කි. ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම් ය.
මෙම වසරේදී රුපියල් බිලියන 126.5ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 153.5ක් වෙන් කර ඇත. එය මෙම වසරට සාපේක්ෂව බිලියන 06ක පමණ අඩුවීමකි.
මුදල් අමාත්‍යාංශය සඳහා බිලියන 185.9ක වෙන් කර ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමකි.
අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් නොවැම්බර් 12 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.
විසර්ජන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පැවැත්වේ.