නවතම පුවත්

ජාතික ඩිජිටල් පරිවර්තන න්‍යායපත්‍රය පිලිබඳ වැඩමුළු මාලාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු කරනු ලබයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), විදුලි සංදේශ හවුල්කරුවන් සහ කර්මාන්ත හවුල්කරුවන් සමඟ එක්ව කලාපීය හවුල්කරුවන්ද සම්බන්ධ කර ගනිමින් ජාතික ඩිජිටල් පරිවර්තන න්‍යායපත්‍රය පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීම සඳහා දින දෙකකින් සමන්විත ජාතික සමුළුවක් දියත් කරනු ලැබීය. දක්ෂිණ කලාපීය වැඩසටහන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධාන කර ඇති කලාපීය තාක්ෂණ පොකුරු වැඩමුළු පහ අතරින් දෙවැනි වැඩමුළුව වන අතර එම වැඩසටහන් මාලාවේ පළමුවැන්න උතුරු කලාපය ඉලක්ක කර ගනිමින් පසු ගිය ජූනි මස පවත්වනු ලැබීය. එමෙන්ම බස්නාහිර, නැගෙනහිර සහ මධ්‍යම කලාපයන් කේන්ද්‍ර කරගනිමින් තවත් වැඩමුළු තුනක් ඉදිරි මාස කිහිපය තුළ දී පැවැත්වීමට නියමිතව ඇත.

දක්ෂිණ කලාපීය වැඩමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද අතර ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක පහ නියෝජනය කරමින් රජයේ නිලධාරීන් 500 කට අධික සංඛ්‍යාවක් මෙහිදී සම්බන්ධ විය. මෙම වැඩසටහන හරහා දක්ෂිණ කලාපයේ රාජ්‍ය ආයතන, කර්මාන්ත, කෘෂිකර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ අංශය සහ අධ්‍යාපන අංශය වැනි විවිධ පාර්ශවකරුවන් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් නව තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම මෙන්ම, දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහාය ඇතිව නවීන හා උසස් තාක්‍ෂණය හඳුන්වා දීම කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබේ.

අගෝස්තු 20 වෙනි දින පැවැත්වුනු ප්‍රධාන පාර්ශවකරුවන් සම්බන්ධ කිරීමේ වැඩසටහනට 350 කට අධික පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූ අතර, වැඩසටහන වැඩි පිරිසක් අතරට රැගෙන යාම සඳහා එය සමගාමීව සිංහල, දෙමළ සහ සංඥා භාෂාවන්ට පරිවර්තනය කර විකාශය කරන ලදි. අගෝස්තු 21 වෙනි දින පැවති රාජ්‍ය අංශයේ වැඩසටහනට ද කලාපයේ 200 කට අධික පිරිසකගේ හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්විණි. එමෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරුන් ද දිස්ත්‍රික් කාර්යාල වල සිට සංවාදයට එක් වූහ. ජාතික වැඩසටහනක් මෙසේ ප්‍රධාන භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම සහභාගී වූ සියලු දෙනාගේ පැසසුමට ලක් විය.

මෙම වැඩමුළුවේදී අදහස් දක්වමින් තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ජනතාවට පහසුකම් හා සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව සංවර්ධිත තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වන්නේ පවතින සම්පත් ඒකරාශී කිරීම බවත් පවතින ශක්තිය හා සම්පත් සමඟ තාක්‍ෂණය සුදුසු ස්ථානයට ගෙන ඒමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අධ්‍යක්‍ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා අදහස් දක්වමින් මෙසේ සඳහන් කර සිටියේය. ”රටෙහි ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ උත්ප්‍රේරක ආයතනය වශයෙන් සියලු රජයේ ආයතන වල ඩිජිටල් සේවා සක්‍රීය කරන්නා බවට ICTA පත්වනු ඇත. ඩිජිටල් රජය, ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් සේවාවන්හි ඉදිරි දර්ශනය යන මූලික පැතිකඩ තුනක් ඔස්සේ ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ දැක්ම සහිතව ICTA මෙම ප්‍රායෝගික පියවර ගෙන තිබේ.”

ICTA හි ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන නිලධාරී, අනුර ද අල්විස් මහතා අදහස් දක්වමින් කියා සිටියේ 2024 වසර වන විට අපනයන බිලියන 3 ක් දක්වා වර්ධනය කර ගැනීම සිය ඉලක්කය බවයි. එය යථාර්ථයක් කර ගැනීම සඳහා රටට සේවකයින් 300,000 ක් අවශ්‍ය වන අතර මේ වන විට එම සංඛ්‍යාව දළ වශයෙන් 175,000 ක් පමණ වේ. පසුගිය දශක කිහිපය තුළ සේවා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර ගෝලීය වෙළඳපළ ජය ගැනීමට නම් නිෂ්පාදන සංවර්ධනය කිරීම ප්‍රධාන වශයෙන් වැදගත් වේ. බුද්ධිමය දේපළ, ආදායම මෙන්ම සෘජු විදේශීය ආයෝජන වැඩි කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේද නිෂ්පාදන ප්‍රවර්ධනය වේ. එමෙන්ම ඉකුත් ජුනි මස පැවත් වූ ප්‍රථම වැඩමුළුවෙන් පසුව උතුරු කලාපීය පොකුරෙන් විශාල ප්‍රතිචාරයක් ලද බවත්, IOT රසායනාගාර, නවෝත්පාදන මධ්‍යස්ථාන සහ යාපනයේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් වන ටෙක්නෝ උද්‍යානයේ දෙවන අදියර වැනි මූලික සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආරම්භක පියවර දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

මේ හා සමගාමීව සබරගමුව ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය (Startup Hub) නිල වශයෙන් ආරම්භ කිරීම ද එහි නිර්මාතෘ උදිත සම්පත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවේදී සිදු කෙරිණි. මේ තුළින් ප්‍රදේශයේ තාක්ෂණ ව්‍යාපාර ආරම්භ කරන්නන්ට, ආයතන වලට සහ ස්වයං රැකියාවන්හි නිරතවන්නන් හට අවශ්‍ය සහය සැපයීම අරමුණු කෙරේ. සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කිරීම, වැඩමුළු තුළින් දැනුවත් භාවය වැඩි කිරීම සහ තොරතුරු තාක්‍ෂණ තරග පැවැත්වීම ඇතුළු පස් අවුරුදු සැලැස්මක් සබරගමුව ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව උදිත මහතා මෙහිදී සඳහන් කර සිටියේය. ආරම්භක තාක්ෂණ ව්‍යාපාර පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්‍ෂ (Director – Startup Ecosystem Development) සචින්ද්‍ර සමරරත්න මහතා මෙහිදී සඳහන් කළේ පරිසර පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් කලාප එකට එකතු විය යුතු බවත් ඌව ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය සහ Yarl IT තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස පරිසර පද්ධති දෙකක් සාර්ථකව පිහිටුවා ගැනීමට ඔවුන්ට හැකිවූ බවත් ය.

දක්ෂිණ කලාපයේ ඩිජිටල් තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා සිය හවුල්කාරිත්වය සංකේතවත් කරමින් ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි වාණිජ මණ්ඩල, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සමඟ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කරන ලදී.

අවසාන වශයෙන් මෙම ජාතික වැඩසහන හා සම්බන්ධ වූ සියලුම හවුල්කරුවන් වෙත විශේෂ ස්තූතිය පිරිනමන ලදි; එහිදී තාක්‍ෂණ අමාත්‍යාංශය, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව, ඩයලොග් අක්සිආටා ලිමිටඩ්, ශ්‍රී ලංකා ටෙලිකොම් ඇන්ඩ් මොබිටෙල්, භාරතී එයාර්ටෙල් ලංකා, හචිසන් ටෙලිකොම් ශ්‍රී ලංකා, ලංකා බෙල් ලිමිටඩ්, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සම්මේලනය (FITIS), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), CSSL, SLINTEC, SLIBTEC, භාෂා ලංකා පුද්ගලික සමාගම වෙත ස්තූතිය පළ කරන ලදි. එමෙන්ම සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ට සහ දක්ෂිණ කලාපය නියෝජනය කරමින් සම්බන්ධ වූ සියලු දෙනා වෙත ද විශේෂ ස්තූතිය පිරිණැමින. එසේම මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ICTA ආයතනයේ බලධාරීන් අගය කිරීම ද මෙහිදී සිදු විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්