පූජිත්-හේමසිරිට එරෙහි පෙත්සම් ගැන විරෝධතා ලබන 18ට පෙර ඉල්ලයි

Picture of අසංක

අසංක

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ස්ම්බන්ධයෙන් විරෝධතා  ලබන 18 හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන්නැයි නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට  අද නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,එල්. ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරිණ.

 ප්‍රතිවිරෝධතා ඇත්නම් ජුලි 25 වැනි දිනට පෙර ගොනු කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට  නියෝග කර ඇත.

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කිරීම පැහැර හැරීම මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.