මත්කුඩු ගන්න ඇමතිලා ගැන කියන්න රන්ජන් හෙට කමිටුවට යයි

Picture of අසංක

අසංක

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති කමිටුව හමුවේ, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හෙට (22) දින පෙනී සිටීමට නියමිතව ඇත.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට කළ ප්‍රකාශයට අදාළව තමන් සතුව ඇති සියලුම සාක්‍ෂිද සමග හෙට (22) පෙරවරුවේ කමිටුව හමුවී පෙනීසිටින ලෙස එම කමිටුව රන්ජන් රාමනායක මහතාට දැනුම් දී ඇත.

මෙම කමිටුව විසින් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මීලඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය .

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව සඳහා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සහ එක්සත් ජාතික පක්ෂ විධායක කමිටු සාමාජික නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් පත් කර තිබේ.

පැතුම් වික්‍රමරත්න