Featuredවිශේෂාංග


Share now!

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම එකඟ නොවෙමි. එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පූර්ණ කොටසකි. නීතියකි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. 1981 වර්ෂයේ පැවැත් වූ සංවර්ධන සභා ඡන්දවල දී ඇති වූ කලකෝලාහල සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ඒවායෙහි ප්‍රමාණවත් නියෝජනයක් නොලැබීම යන හේතු මත 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම ඇති කර ගන්නා ලද අතර එහි දිගුවක් ලෙස 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලදී. එහි දී ලංකාව පළාත් නවයකට වෙන් කරමින් මෙම පළාත් සභා ක්‍රමය ඇති කරන ලදී.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩි වශයෙන් සේවය කරන්නේ සිංහල බෞද්ධ ජනතාවටය යන සැකය දෙමළ ජනයා අතර ගොඩනැගී තිබිණි. වෙසෙසින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බවට සඳහන් විධිවිධානය එහිලා බලපෑවේය. මධ්‍යම ආණ්ඩුව සතු ඇතැම් බලතල පළාත් අතර බෙදා හැරීමට අමතරව නගර කේන්ද්‍රීය සංවර්ධනය ගමට ළඟා කරවීම පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමෙහි එක් අරමුණකි. එසේම පළාත් බද මහාධිකරණ ක්‍රමයකුත් එමගින් පිහිටුවන ලදී. සිංහල සහ දෙමළ භාෂා ජාතික භාෂා හැටියට පිළිගැනීමත් උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලන හා අධිකරණ භාෂාව වශයෙන් දෙමළ භාෂාව පිළිගැනීමත් වැදගත්ය. එම දෙපළාතෙහි බහුතරයක් ජනයා දෙමළ භාෂාව කතා කරන හෙයින් එහි වරදක් නැත.

මූලික අයිතිවාසිකම් අතර භාෂාමය අයිතිය ගැන ද සඳහන් වේ. මෙම ප්‍රතිපාදන ක්‍රමයෙන් ගොඩනගන අතරවාරයේ උතුරු සහ නැගෙනහිර පළාත් සභා ද පිහිටුවන ලදී. පළාත්වල සංවර්ධනයට අදාළ ප්‍රඥප්ති සකස් කිරීමේ බලය පළාත් සභාවලට හිමිය. තවද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි මධ්‍යම ආණ්ඩුව සතු බලතලත් පළාත් සභාවලට හිමි බලතලත් මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට පොදුවේ ක්‍රියාත්මක කළ හැකි සමගාමී බලතලත් ඇතුළත් වේ.

පළාත් සභා ක්‍රමය ආශ්‍රිතව විවාදයට බඳුන්ව තිබෙන කරුණු දෙකක් හඳුනාගත හැකිය. පළමුවැන්න, ඉඩම් සහ පොලිස් බලතල පූර්ණ වශයෙන් පළාත් සභාවලට ලබා නොදීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වයයි. දෙවැන්න, ස්වයං නීර්ණ අයිතිය සම්බන්ධ කාරණයයි. ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දුන හොත් ඒවා නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගත හැකිද යන කාරණය මත එය විවාද සම්පන්න වී තිබේ.

මේ තත්ත්වය ලොව වෙනත් රටවල සන්ධීය ආණ්ඩුක්‍රම (මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත අතර බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බෙදන ලද ආණ්ඩුක්‍රම) සමග සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත්ය. කැනඩාවේ සන්ධීය ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන අතර ප්‍රාන්ත ආණ්ඩුවලට පවරා දී ඇති බලය නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගත හැකිය. ඉන්දියාවේ ක්‍රියාත්මක අර්ධ සන්ධීය ආණ්ඩුක්‍රමය ඇතුළත ප්‍රාන්ත වෙන් වී යෑමට උත්සාහ දරන බවක් නොපෙනෙන හෙයින් එරටේ මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්තවලට බලතල ලබා දෙනවා මිස ප්‍රාන්තවල බලතල මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නා තත්ත්වයක් දැකිය නොහැකිය. එහෙත් ලංකාවේ තත්ත්වය ඊට වෙනස්ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණෙනි.

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු බලයට පත් කිසිදු ආණ්ඩුවක් ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දී නොමැත. 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු පළාත් සභා යළිත් සක්‍රීය තත්ත්වයට පත් විය. උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභාව යොදා ගනිමින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරනවා වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට සහභාගී වෙමින් යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදා දෙමළ ජනයා සමූල ඝාතනයට කළ බවටත් පළාත් සභාවලට මධ්‍යම ආණ්ඩුව බලතල ලබානොදෙන බවටත් චෝදනා ඉදිරිපත් කළේය.

පළාත් සභා මේ වන විට සුදු අලියකු බවට පත්ව ඇත. ඒවායෙහි ක්‍රියාකාරීත්වය අපේක්ෂිත අරමුණුවලින් බැහැර වූ ස්වභාවයක් පෙනෙන්නට තිබේ. පසුගිය 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටියි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ නීතියක් බැවින් එය ක්‍රියාත්මක කළ යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවක දී ඉන්දීය රජයේ නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් එපිටට ගොස් බලය බෙදා හරින බවය. යුද්ධයෙන් පසු දෙමළ ජනයාගේ ප්‍රශ්නය මනාව තේරුම් ගෙන උතුරු නැගෙනහිර පළාත් සඳහා ඔවුන්ගේම පොලිස් සේවාවක් සහ ඉඩම් බලතල ලබා දී මේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව තිබූ බව මගේ මතයයි. ජාතීන් දෙක අතර තිබෙන සැකය ජනවාර්ගික අර්බුදය විසඳීමට බාධාවක් වී ඇති බව පෙනේ.

මධ්‍යම ආණ්ඩුව කල්පනා කරන බව පෙනෙන්නේ උතුරු නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ලබා දුන් පසු එම ප්‍රදේශවල යළි වෙන්වීම්වාදී ව්‍යාපාර ඇති වී රටේ ඒකීය භාවය තර්ජනයට ලක් විය හැකි බවය. එම පරිකල්පනය නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීම දුෂ්කර වී තිබේ. එහිදී අප කල්පනා කළ යුත්තේ සෙසු පළාත්වලත් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිද යන්නය. මන්ද, පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන්නේ නම් ලංකාවේ අනෙක් පළාත් සභාවලට ද ලබා දිය යුතු බැවිනි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි සඳහන් ඇතැම් බලතල මේ වන විටත් පළාත් සභා විසින් ක්‍රියාත්මක කරනු ලබයි. සෞඛ්‍ය විෂය යටතේ පළාත් රෝහල් පාලනය වේ. එසේම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක වේ. එහෙත් මෙතෙක් ඉඩම් පොලිස් බලතල ක්‍රියාත්මක ලබා දී නොමැත. ඉඩම් බලතල පිළිබඳ වැඩිමනත් සාකච්ඡා කිරීම වැදගත්ය. උතුරු පළාතේ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් තේසවලාමේ නීතිය පවතී.

රජයේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. යුද්ධය පැවති කාලයේ දී පෞද්ගලික ඉඩම් රජයට පවර ගන්නා ලද අතර ඒවා නැවත හිමිකරුවන්ට ලබා දිය යුතුය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එපිටට ගොස් බලය බෙදන බවට ලබා දෙන ප්‍රතිඥා හුදු දේශපාලන පොරොන්දුවක්ද යන්න සිතා ගැනීම අසීරුය. මන්ද, කිසිදු අවස්ථාවක එම ප්‍රතිඥා ක්‍රියාත්මක නොකළ නිසාය. බොහෝවිට ඒවා ලබා දී තිබෙන්නේ ඉන්දියාව සතුටු කිරීමටය.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය සෘජුවම උතුරු පළාතට බලපාන බවය. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ යැයි විශ්වාස කළ හැකි දේශපාලන පක්ෂයක් ද මේ වන විට උතුරු පළාතේ ක්‍රියාත්මක වේ. ඉදිරි මැතිවරණවලදී එම පක්ෂය තරග කිරීමට ද ඉඩ ඇත. ජාතීන් අතර සුහදත්වය ගොඩනැගීම ඉතා වැදගත්ය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (එල්.එල්.ආර්.සී.) අවසන් වාර්තාවෙන් ඒ සඳහා යෝජනා නවයක් ඉදිරිපත් කර තිබේ. එහෙත් දකුණේ ක්‍රියාත්මක ඇතැම් ජාතිකවාදී දේශපාලන පක්ෂ හා ව්‍යාපාර කල්පනා කරන්නේ බලය බෙදුව හොත් උතුරු නැගෙනහිර ජනයා වෙනම රාජ්‍යයකට ගමන් කරනු ඇති බවය.

මෙම ප්‍රශ්නය දැන් විසඳිය යුතුය. එහිදී ජනාධිපතිවරයා කළ යුත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මකභාවයට පත් කිරීමය. එසේ කළහොත් උතුරු නැගෙනහිර පළාත්වලට පොලිස් බලතල ලබා දීමට සිදු වේ. නියෝජ්‍ය නීතිපතිවරයකු අලුතින් පත් වන අතර පළාත්වලට නියෝජ්‍ය පොලිස්පතිවරු ද පත් වෙති. 13 වැනි සංශෝධන මුළුමනින්ම ක්‍රියාත්මක කළ හොත් එම බලතල සෙසු පළාත් සභාවලට ද ලැබිය යුතුය.

භාෂාව, අන්‍යෝන්‍ය සුහදතාව, ප්‍රතිසන්ධානය ගොඩනැගීම පිළිබඳ නිතර සාකච්ඡා වුවද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. එබැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතුය. දකුණේ ජනයා වුව යුද්ධයෙන් මිය ගිය සිය ඥාතීන් සමරන බැවින් එම අයිතිය උතුරේ ජනතාවට ද ලබා දිය යුතුය. සත්‍ය තොරතුරු හෙළි කිරීමේ සහ පාපොච්චාරණය කිරීමේ කොමිසමක් ද පත් කළ යුතුය. මේ ප්‍රශ්නය විසඳා ගැනීමේදී දෙමළ ජනතාවට වෙන් වීමට ඉඩ නොදී ඔවුන් සමග එකතුව කටයුතු කිරීම වැදගත්ය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළද පවතින දේශපාලන සන්දර්භය ඇතුළත එය පහසුවෙන් කළ හැකිද යන ප්‍රශ්නය මතු වේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් තේරී පත් වූ නිසාත් ඔහුගේ පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයකු පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසාත් එය පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඔහු මනා කළමනාකරුවෙකි.

ප්‍රශ්න හොඳින් කළමනාකරණය කර ගනිමින් අන් අය තමාගේ මතය වෙනුවෙන් නම්මවා ගැනීමේ හැකියාවක් ඔහු සතුය. එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය සිතන්නේ මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම ගැනය. ඒ වෙනුවෙන් රටේ නැති ප්‍රශ්න ඇති කිරීමටද පිළිවන. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතිකවාදී කණ්ඩායම්වල සහාය 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාවට නැගීම සඳහා ලැබෙන්නේ ද යන්න අවිනිශ්චිතය.

මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට සැබෑ වුවමනාවක් තිබුණද මේ ඒ සඳහා අවස්ථාව නොවන බව මගේ වැටහීමයි. විශේෂයෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සමහර පාර්ශව විසින් සමාජය බියවැද්දවීම පිණිස යොදා ගනු ලැබීමට ඉඩ තිබේ. අවසාන වශයෙන් කිව යුත්තේ කෙමෙන් හෝ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවය. එසේම එය මැතිවරණ පොරොන්දුවක් නොවිය යුතුය.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  හිටපු කොමසාරිස්

නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා