විශේෂාංග


Share now!

මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එහිදී සඳහන් කෙරිණි.

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ කාන්තා ව්‍යවසායකයන් ඇගයීමේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ මේ ප්‍රකාශය රටේ වත්මන් ආර්ථික තත්ත්වය සමඟ සැසඳීමේදී ඉතා වැදගත්, අර්ථවත් අදහසක් බව සඳහන් කළ යුතුය. ව්‍යාපාරික ප්‍රජාවේ අවශ්‍යතා නොසලකා හැරීම බොහෝ ආර්ථික ආබාධවලට හේතු වන බව නොරහසකි.

රටක ආර්ථික ස්ථාවරත්වය රැඳී තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය මත පමණක් නොවේ. ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවේ දායකත්වය ද අවශ්‍යය. ඒ බව නොසලකා කටයුතු කිරීමෙන් රටේ ආර්ථිකයට සිදුවන්නේ කිව නොහැකි හානියකි.

මේ යථාර්ථය පටු දේශපාලන අවශ්‍යතා නම් කඩතුරාවෙන් වසාගෙන කටයුතු කිරීමේ ආදීනව අපි දැන් විඳිමින් සිටිමු. ඒ අර්ථයෙන් ගත් කල වත්මන් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය බෙහෙවින් අගය කළ යුතුය.

ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුම අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ දරාගත නොහැකි ණය බරකින් පෙළෙන රාජ්‍ය ව්‍යවසාය නඩත්තු කිරීම සඳහා රජයට වැය කිරීමට සිදුව ඇති අති විශාල මුදලයි. රජයේ සේවයට අමතරව රාජ්‍ය ව්‍යවසාය බර ද දැරීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් අපේ රටට කවදත් නොතිබිණි. එහෙත් ඒ බව බොහොමයක් නායකයෝ අවබෝධ කර නොගත්හ. අවබෝධ වුණත් පටු දේශපාලනය හේතුවෙන් ඒ බව වුවමනාවෙන් අමතක කළහ.

අප එසේ කළත් ආර්ථික වශයෙන් වේගවත් වර්ධනයක් ඇති කරගනිමින් සිටින බොහොමයක් රටවල් පැරැණි සංකල්ප අතහැර අලු‍ත් අදහස් පෙරදැරිව කටයුතු කිරීමෙන් ඉතා විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටී. අසල්වැසි ඉන්දියාවත්, බංග්ලාදේශයත් ඒ වගේම වියට්නාමය වැනි රටවල් පවා මේ වන විට වඩාත් විශ්වාසය රඳවා ඇත්තේ රාජ්‍ය ව්‍යවසායවලට වඩා ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි බව හඳුනාගත හැකිය. ව්‍යාපාරිකයා රැක ගැනීමට ණය ගෙවීම් පමා කර හෝ සහන ලබා දෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ඉහළ වටිනාකමක් හිමිවන්නේ ඒ හේතුවෙනි.

මේ රටේ ව්‍යාපාරික ආයතන බොහොමයක් අතින් ණය ගෙවීම් පැහැර හැරුණේ පසුගිය වසර කිහිපය තුළදී ඇති වූ කොවිඩ් වසංගතයේ බලපෑම් හේතුවෙන් බව රහසක් නොවේ. ඒ අතුරින් කිහිපයක්, සිතා මතා බැංකුවලට පොලු‍ තැබූ කූඨ ව්‍යාපාරික ආයතන බවත් කිව යුතුය. එහෙත් බහුතරයක් ව්‍යාපාරික ප්‍රජාව කොවිඩ් වසංගතය හේතුවෙන් මුහුණ දුන්නේ අනපේක්ෂිත කඩා වැටීමකටය. මෙහිදී ඇඟලු‍ම් සහ සංචාරක ක්ෂේත්‍ර කැපී පෙනෙයි. එසේම ආහාරපාන ව්‍යාපාර සහ සිල්ලර වෙළෙඳාම් ද වෙනත් නිෂ්පාදන ආර්ථිකයට දායක වූ ආයතන ද අපනයනය ඉලක්ක කරගත් ආයතන ද පසුගිය කාලයේ ආදායම් අහිමි වීමෙන් ලැබූ අලාභය අති විශාලය.

ඔවුන් බැංකු මගින් ලබාගෙන තිබූ ණය ගෙවීම දිගින් දිගටම මගහැරුණේ ආදායම් ලැබීම ඇනහිටීම හේතුවෙනි. ඒ සමග ඒවායේ සේවය කළ සහ සේවා සැපැයූ බොහෝ දෙනකුට ද ආදායම් අහිමි විය. ඔවුන්ගේ ආදායම් වැඩි කිරීමටත් ව්‍යාපාර ජාලය ද නැගිටවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. රජය ඒ සම්බන්ධයෙන් සැබෑ අවබෝධයකින් කටයුතු කළ යුතු වෙයි.

මෙම ව්‍යාපාරික ප්‍රජාවේ එක් පාර්ශ්වයක් වන සිල්ලර වෙළෙඳාම ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සපයයි. රටේ ජාතික සිල්ලර වෙළෙඳාම ඩොලර් බිලියන 13ක් වශයෙන් ඇස්තමේන්තු කර තිබේ. කොවිඩ් වසංගතයට පෙර එම ව්‍යාපාර ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වෙමින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 23කට හිමිකම් කියන තත්ත්වයට පත් විය. මෙරට ශ්‍රම දායකයන්ගෙන් සියයට 14ක් වන ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් මේ ක්ෂේත්‍රයේ රැකියාවලට හිමිකම් කියූහ. අද වන විට මේ ක්ෂේත්‍රය ද සේලයින් ලබා දිය යුතු තත්ත්වයකට පත්වෙමින් තිබේ. මේ ක්ෂේත්‍රයට ද ප්‍රතිකාර ලබා දීම ප්‍රමාද කිරීම රටට අවාසියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට ව්‍යාපාරික ප්‍රජාවට සහන සැලසීමේ කටයුතු අප්‍රමාදව ආරම්භ කිරීම ද අවශ්‍යය. පවතින ආර්ථික අර්බුදයට දොස් පැවැරීම සහ වැරැදිකාරයන් සෙවීම පමණක් විසඳුම් සොයා ගැනීමට හේතු වන්නේ නැත. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට සහන ලබා දීම ද එක සේ වැදගත් බවත්, ඒ සඳහා නිශ්චිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.