බුද්ධි ප්‍රධානියා අයින් වුණේ ජනපතිගේ දොස් නිසා!

Picture of අසංක

අසංක

ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, පසුගියදා සාක්ෂි දීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විෂය භාර අමාත්‍යවරයා පෙර දැනුවත් කොට ගියේ නැතැයි ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටින පසුබිමක ය.

සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබුණේ සෞඛ්‍ය ගැටලුවකි.

ජාතික බුද්ධි අංශය අයත් වන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට ය.

ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැති අතර ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණේ දැනට රාජකාරියේ නියුතු නිලධාරීන් එම කාරක සභාව හමුවට නොයා යුතු බවය.

එමගින් පරීක්ෂණවලදී බාධා එල්ල විය හැකි බව ද පවසා තිබුණි.

කෙසේවෙතත් කථානායකවරයා අද දීර්ඝ විස්තරයක් සහිතව ලිපියක් මගින් ජනාධිපතිවරයාගේ විවේචනය පිළිබද කරුණු දක්වා තිබුණි.

සිසිර මෙන්ඩිස් මහතා අදාළ තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි ලෙස විවේචනයට ලක්විය.