‘ආණ්ඩු කියන කියන විදියට වැඩ කරන්න ලෑස්ති නෑ’ – ෆේස්බුක්

Picture of අසංක

අසංක

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ එම සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හා ඡායාරූප ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගම අවධාරණය කර සිටී.

ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිති හා තත්ත්ව පිළිපදින බව ද එම සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කර සිටී..

ෆේස්බුක් සමාගමේ ඉහල පෙලේ නිලධාරීන් කණ්ඩායමක් මේ දිනවල මෙරටට පැමිණ සිටින අතර ඔවුන් කොළඹදී පවතී මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය

අපි මානව හිමිකම් සංවිධානවලට පොරොන්දු ලබා දී තිබෙනවා. එම සංවිධාන සමඟ කටයුතු කරනවා. ඒ නිසා රජයක් හෝ ආණ්ඩුවක් ඉල්ලීමක් කළ පමණින් අපි ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළවන ඡායාරූප හෝ සටහන් ඉවත් කරන්නේ නැහැ. ඒවා සීමා කරන්නේ නැහැ’ යයි එහිදී එම නිලධාරීයකු පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරීයා මෙසේද පැවසීය
රජයකට හෝ ආණ්ඩුවකට එවැනි ඉල්ලීම් කරන්න පුළුවන්. එසේ ඉල්ලීම් කළ හැක්කේ නීත්‍යනුකූල ආයතනයක් මාර්ගයෙන්. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ නම්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මාර්ගයෙන්.

පුද්ගලයෙක් දිගින් දිගටම අපේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරනවා නම් ඒ උල්ලංඝණය කිරීම්වල බරපතළකම අනුව අපි ඔවුන්ගේ ගිණුම හෝ පිටු ඉවත් කරනවා. එසේ වුවත් අපි එහෙම ගිණුම් හෝ පිටු හෝ ඉවත් කරන්න කලින් එම පුද්ගලයා දැනුවත් කරනවා.

ඔවුන් ඊට එකඟ නැතිනම් ඔවුන්ට පුළුවන් අභියාචනයක් කරන්න. ඒ අනුව ස්වාධීන කණ්ඩායමක් දෙවැනි වරට ඒ ගැන විමසා බලනවා.