නවතම පුවත්

අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රවෘත්ති සම්බන්ධ එක් නිර්වචනයක් වනුයේ ‘‘ඇස් උඩ යන දේ ප්‍රවෘත්ති’’ යන්න ය. එබඳු ඇස් උඩයන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ශ්‍රී ලංකාවේ එකම වෙරළ තීරයක්වත් ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලබාගෙන නැතැයි පරිසර ස්වාභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වූ බව ය.

අප රට දිවයිනක් බවත් එහෙයින්ම මනස්කාන්ත වෙරළ තීරයක් අප රට සතුව තිබෙන බවත් එය දිළිඳු රටක් වන අප රට සතු මහරු සම්පතක් බවත් වාගාඩම්බරයෙන් උදම් අනමු. එහෙත් ඇත්ත යථාර්ථය නම් අප රටේ එකම වෙරළ තීරයක්වත් ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලබාගෙන නොමැති බවය.

පරිසර ස්වාභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුවේ සභාපති ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා එම කමිටුවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන්නේ මෙම ප්‍රමිති සහතිකය ලබා ඇති වෙරළ තීරවලට බැවින් සංචාරකයන් ආකර්ශනය කිරීම සඳහා එම සහතිකය ලබාගැනීම අතිශයින්ම වැදගත් බව ය.

ලෝකයේ දැනට රටවල් 50ක පමණ වෙරළ තීර 4000ක් පමණ ‘‘බ්ලූ ෆ්ලෑග්’’ සහතිකය ලබා ඇති බව පවසා ඇති මන්ත්‍රීවරයා මෙම සහතිකය ලබා ගැනීමට නම් වෙරළ තීරය ගුණාත්මක බවින් සහ ආරක්‍ෂාකාරී බවින් ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බව ද පෙන්නා දී ඇත. එම සහතිකය මෙතෙක් ලබා නොගැනීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවල අවධානය යොමු විය යුතු බව ද එම මන්ත්‍රීවරයා පෙන්නා දී තිබේ.

නිදහස ලබා 75 වසරක් ගෙවී යමින් තිබේ. බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් අප නිදහස ඉල්ලා තිබෙන්නේ නිදහස ලබා ගැනීමෙන් පසු රට දියුණු කිරීමට අදාළ දියුණු සහ විද්‍යාත්මක සැලැස්මක් නොමැතිව ද යන ප්‍රශ්නය මෙහිදී බැහැර කළ නොහැකි ය. නිදහස ලබා පැමිණි වසර 75 ක කාලයෙන් වසර 30ක් ම කුරිරු යුද්ධයකට අප රට යටත් වී තිබූ බව සත්‍යයකි. අවස්ථා දෙකක දී දිග්ගැස්සුණු සිවිල් අරගලයකට රට ගොදුරු වී තිබූ බවත් සත්‍යයකි. එහෙත් අප රට දියුණු කිරීමට අවශ්‍ය ඩොලර් උල්පත් මවන රට සතු මහරුම සම්පත වන වෙරළ තීරය අවශ්‍ය මට්ටමින් ගුණාත්මක තලයට ඔසොවා තැබීමට ඒවා කිසිවක් බාධා විය යුතු නැත. එහෙත් එම දෙය සිදුවී නැත. අප රට මෙතරම් දරුණු අගාධයකට ඇද වැටීමට එයත් හේතුවකි. ඒ සම්බන්ධ වගකීම රට පාලනය කළ හා එම පාලනයට හවුල් වූ සෑම වර්ණයකටම අයත් දේශපාලන පක්‍ෂ වගකිව යුතු ය.

මෙම කමිටුව හමුවේ අදහස් දක්වා ඇති සමුද්‍රීය පරිසර අධිකාරියේ ප්‍රධානීන් පෙන්වා දී තිබෙන්නේ ලංකාවේ ප්‍රධාන වෙරළ තීර 12 ක් එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති බවත්, එයින් වෙරළ තීර 4 ක් ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

රට පාලනය කිරීම යනු දේශපාලන බලය රැක ගැනීම පමණක් නොවේ. රටේ අවශ්‍යතා සම්බන්ධ ප්‍රමුඛතා ලැයිස්තුවක් මුලින් සකස් කළ යුතුය. එම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ දී රටේ ඇති සම්පත් යොදාගත හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. එබඳු වැඩපිළිවෙළක් වූයේ නම් අප රට සතු මනහර අයස්කාන්ත සුන්දර වෙරළ තීරය සම්බන්ධයෙන් අපට මෙබඳු දුක්මුසු පුවත් අසන්නට ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සම්බන්ධයෙන් ඇස් උඩයන ප්‍රවෘත්තියක් පළවී ඇති බව මෙහි ආරම්භයේ දී ම සඳහන් කළේ එහෙයිනි.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !