වොයේජර් 1′ අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට සැතපුම් බිලියන 16ක සීමාව පසුකළ බව තහවුරු කරමින් පාලන මධ්‍යස්ථානය වෙත රේඩියෝ සංඥාවක් එවා ඇතැයි නාසා අභ්‍යවකාශ ඒජන්සිය තහවුරු කරනවා.
මෙම යානයේ න්‍යෂ්ටික බැටරියේ බලය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බැවින්, ලබන වසරේ යෙදෙන එහි 50 වැනි සංවත්සරයෙන් පසුව එහි විද්‍යාත්මක උපකරණ ක්‍රියා විරහිත වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.
නාසා ආයතනයේ ‘වොයේජර් 1’ (Voyager 1) අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට ආලෝක-දිනයක් පසු කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත්වෙමින් ඉතිහාසගත වී තිබෙනවා.
1977 වසරේදී අභ්‍යවකාශගත කළ මෙම යානය මේ වන විට කිලෝමීටර් බිලියන 26ක් පමණ ඈතින් පිහිටි අන්තර්තාරකා අවකාශයේ ගමන් කරමින් තිබෙනවා.
ඒ අනුව පෘථිවියේ සිට යවන සංඥාවක් යානය වෙත ළඟා වීමට පැය 24ක් ගත වන බව නාසා ආයතනය පවසනවා.
යානයට පණිවුඩයක් යවා එහි ප්‍රතිචාරය නැවත පෘථිවියට ලැබීමට ද පැය 48ක්, එනම් දින දෙකක කාලයක් ගතවනවා.
මෙම යානය පැයට කිලෝමීටර් 58,000ක පමණ වේගයකින් මේ වන විට ගමන් කරමින් පවතින අතර, මෙම යානය අපට සුවිශේෂී වන්නේ ඒ තුළ සිංහල
භාෂාවෙන් ආයුබෝවන් යන වචනයේ හඬ පටයක් ඇතුළත් කර තිබිම හේතුවෙන්.
පෘථිවිය, සූර්යයා සහ ක්ෂීරපථය පිළිබඳ තොරතුරු සහ විවිධ ශබ්ද සහ භාෂා 55කින් සමන්විත සුබ පැතුම් ඇතුළත් රන් තැටියක් වොයේජර් 1 යානයේ
අන්තර්ගත කර තිබෙනවා.
මෙම රන් තැටියට විවිධ භාෂාවන්හි සුබ පැතුම් ඇතුළත් හඬ පටිගත කිරීම සඳහා තාරකා විද්‍යාඥ කාර්ල් සේගන් ඇතුළු කණ්ඩායම කෝර්නෙල් විශ්ව විද්‍යාලයේ සිටි විවිධ රටවල සිසුන් සහ ආචාර්යවරුන් යොදාගෙන තිබුණා.
එහිදී සිංහල භාෂාව නියෝජනය කරමින් ආයුබෝවන් යනුවෙන් සුබ පැතීම සඳහා එම සරසවියේ එකල සිසුවෙක් වූ ශ්‍රී ලාංකිකයෙක් වන ආචාර්ය කමල් ද ආබෘ යොදාගෙන තිබුණා.
ආචාර්ය කමල් ද ආබෘ ශ්‍රී ලංකාවේ උපත ලබා මෙරට අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා අමෙරිකාවට ගොස් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ විද්වතෙක්.
එමෙන්ම Voyager රන් තැටියේ පෘථිවියේ ජීවය සහ සංස්කෘතිය නිරූපණය කරන ඡායාරූප 115ක්, ස්වභාවික හඬ, ලොව පුරා සංගීත නිර්මාණ සහ ලිඛිත පණිවිඩද ඇතුළත් වනවා.
මෙම තොරතුරු අනාගතයේදී බුද්ධිමත් පිටසක්වල ජීවීන්ට පෘථිවිය හඳුනා ගැනීමට හැකි වන පරිදි සකස් කර තිබෙන බවයි NASA ආයතනය පවසන්නේ.
මෙම තැටිය වාදනය කරන ආකාරය දැක්වෙන ගණිතමය රූප සටහන්ද එම තැටියේ ඇලුමිනියම් ආවරණයේ දක්වා ඇති අතර එය වාදනය කිරීමට අවශ්‍ය ඉදිකටුවක්ද ඒ සමග තබා තිබෙනවා.
එමෙන්ම මෙම යානය සොයා ගන්නා අයෙකුට අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයා පිහිටි ස්ථානය සොයා ගැනීමට හැකි වන පරිදි ප්‍රධාන තරු 14 සාපේක්ෂව සකස් කළ සිතියමක් සහ තැටියේ වයස ගණනය කිරීමට යුරේනියම් 238 සාම්පලයක් ද එම ආවරණයේ අඩංගු වෙනවා.
කෙසේ වෙතත්, මෙම යානයේ න්‍යෂ්ටික බැටරියේ බලය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බැවින්, ලබන වසරේ යෙදෙන එහි 50 වැනි සංවත්සරයෙන් පසුව යානයේ විද්‍යාත්මක උපකරණ ක්‍රියා විරහිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
වොයේජර් 1 යානය බලශක්තිය අවසන් වී නුදුරු අනාගතයේදී යානය අක්‍රිය වුවද, එය තාරකා අතරින් අඛණ්ඩව ගමන් කරනු ඇති.

