Featuredවිශේෂාංග


Share now!

දොළොස් වැනි සියවසේ මැද භාගයේ දී පසුකාලීනව පළමු පරාක්‍රමබාහු රජ බවට පත් පරාක්‍රමබාහු කුමරා දක්ෂිණ දේශයේ රජකමට පත්වූ විට සිත්තැවුලට හේතුවන අත්දැකීමකට මුහුණ පෑවේය. දළවශයෙන් දක්ෂිණ දේශය යයි හැඳින්වූයේ මෙකල බටහිර සහ වයඹ පළාත්ය. චූලවංශයේ දක්වා ඇති පරිදි කුමරා ඔහුගේ භාණ්ඩාගාරිකගෙන් (මේ වන විට භාණ්ඩාගාර ලේකම් හා සමාන) විමසා සිටියේ ප්‍රමාණවත් සම්පත් භාණ්ඩාගාරයේ තිබේද යන්නයි. මුළු රටේම රජවීම උදෙසා අනෙකුත් පාලකයන් හා සටන් වැදීමට ඔහුට එය දැනගත යුතු විය. භාණ්ඩාගාරික තැන කෙළින් කතා කරන නිලධාරියෙක් වූයේය. ඔහු භාණ්ඩාගාරයේ දොර විවර කොට එය හිස් බව කුමරාට පෙන්වූයේය.

ආචාර්ය ඩබ්ලිව් .ඒ .විජේවර්ධන

මෙකී වදකාර පුවතින් අධෛර්යවත් නොවුණු පරාක්‍රමබාහු අන්තරාංග ධුර නම් නව ආර්ථික කලාපයක් ඇරඹූ බව වාර්තා වේ. එය කළුතර වරායෙන් මෑතට විහිදුණු ප්‍රදේශයක් විය. ඔහු සිය නිලධාරීන් ලවා මෙම විශේෂ ආර්ථික කලාපයෙන් දැව, අලි ඇතුන්, ඇත්දළ, මැණික්, මුතු හා කුළුබඩු ආදී අපනයන නිෂ්පාදන ඒකරාශී කොට අසල්වැසි රටවලට කළුතර වරායෙන් අපනයනය කළේය. මෙයින් පෙනී යන්නේ කුමරා කෞටිල්‍යන්ගේ අර්ථ ශාස්ත්‍රය උගෙන ඇති බවයි. චූලවංශයට අනුව ඉන් පසු ගෙවුම්ශේෂ අතිරික්තයක් උත්පාදනය වී තිබේ. එම අතිරික්තය භාවිතා කොට ආයුධ සහ අනෙක් යුදමය අවශ්‍යතා සපුරාගෙන හෙතෙම ලංකාව එක්සේසත් කළේය.

හොඳ සැපයුමක් ඇති භාණ්ඩාගාරය සැමදේටම කේන්ද්‍රගත වූවකි.

මෙය අතිවිශේෂ තත්ත්වයක් වන්නේ කෞටිල්‍යට අනුව හිස් භාණ්ඩාගාරයක් ඇති රජු වඩාත් දුර්වල රජකු වන බැවිනි. කෞටිල්‍ය මෙසේ කියයි.

” ක්ෂයවූ භාණ්ඩාගාරයක් හිමි රජකු රටවැසියාගේ සහ රටේ අත්‍යවශ්‍ය දෑ සපුරාදිය නොහැකිව අසීරුවට පත්වේ. සියලු රාජ්‍ය කටයුතු පළමුව භාණ්ඩාගාරය මත තීරණය වේ. එම නිසා රජකු පූර්ණ අවධානයෙන් යුතුව ඒ උදෙසා කැපවිය යුතුය.”

මෙය දැන සිටි පරාක්‍රමබාහු කුමරා ඉහළම ප්‍රමුඛතාව දී තම භාණ්ඩාගාරය නගා සිටුවන්නට කටයුතු කළේය.

රට ඉදිරියට ගෙනයාම

වගඋත්තරකාරයකු ලෙස මෙරටින් පළාගිය සියලු බලතල හිමිව තිබූ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඔහුගේ වචනය නීතිය වන බවයි. ජන රජයේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස හෙතෙම සිය අගමැති රනිල් වික්‍රමසිංහ පත් කළේය. කලින් පිළියෙළ කර තිබුණේ ගෝඨා සහ රනිල් දෙදෙනාම තනතුරුවලින් ඉල්ලා අස්වී, පාර්ලිමේන්තුවේ කතානායකවරයා ජනාධිපති තනතුරට පත් කොට හය මසක සීමිත කාලයකට කාර්ය භාරයක් බාරවූ සියලුම පක්ෂවලින් සමන්විත අන්තර්වාර ආණ්ඩුවක් ගොඩනැගීමයි. එහිදී නියමිත මෙහෙවර වූයේ වියවුලෙන් පිරි රටක් නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කොට ඉන්පසු ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් තෝරා පත්කර ගැනීමට අවස්ථාව සලසා දීමය. එසේ කිරීමට බලාපොරොත්තු වූයේ ගෝඨා සහ රනිල් යන දෙදෙනාගේම පදවි යුක්ති සහගත නොවන බවට රටේ තිබුණු පොදු මතය පිළිගත් නිසාය. ශ්‍රී ලංකාවේ සියලු දේ ඇණහිට ඇති තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යා හැකි ක්‍රමයක් අවශ්‍යව තිබීම ඊට හේතු විය.

අලුත් රජය හමුවේ ඇත්තේ හිස් භාණ්ඩාගාරයි

මෙම රජය හමුවේ ඇති හිස් භාණ්ඩාගාරයේත්, දක්ෂිණ දේශයේ තිබූ හිස් භාණ්ඩාගාරයේත් වෙනසක් ඇත. දක්ෂිණ දේශයේ පැවැති භාණ්ඩාගාරයේ හිස් වූවා පමණි. එය ශුන්‍යතාවේ සිට නැවත පුරවා දැමීමේ හැකියාව කුමරාට තිබිණි. එහෙත් වර්තමාන ආණ්ඩුවට උරුම වී ඇති භාණ්ඩාගාරය හිස්වූ භාණ්ඩාගාරයක් පමණක් නොව පමණටත් වඩා (ණයවී) ක්ෂයවූ එකකි. එමනිසා අලුත් ආණ්‍ඩුවට සිදු වන්නේ ඍණ තත්ත්වයේ සිට පටන් ගන්නටයි.

නූතන යුගයේ භාණ්ඩාගාරවල ඇත්තේ මූල්‍ය වත්කම්ය.

පුරාණ කාලයේ රජවරුන්ගේ භාණ්ඩාගාර සමත්විත වූයේ රත්‍රන්, ස්වර්ණාභරණ, මැණික්, මුතු, ධාන්‍ය, තෙල්වර්ග, අනෙකුත් පරිභෝජන භාණ්ඩ ආදී වටිනා භෞතික සම්පත්වලිනි. එවිට එහි දොර විවර කළ සැණින් අයෙකුට එහි ඇති සම්පත් ප්‍රමාණය මැනගත හැකිය. එහෙත් අද භාණ්ඩාගාරය එවැනි භෞතික සම්පත් නැත. අද දවසේ ආණ්ඩුවක බලය නියෝජනය වනුයේ ජනතාවගෙන් බදු අයකිරීමේ හැකියාව, මුදල් අච්චු ගැසීම, ජනතාවගෙන් මුදල් ණයට ගැනීම, බැංකු තැන්පත් වැනි මුල්‍ය වත්කම් පවත්වා ගැනීම ආදියෙනි. ඒවා බැලූ බැල්මට පෙනෙන ඒවා නොවේ. කෙසේ වුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට භාණ්ඩාගාරයේ ප්‍රබලත්වය නියෝජන දෙකකින් මැනිය හැකි වේ. පළමුවැන්න ව්‍යවස්ථාව යටතේ නිර්මාණය වූ ඒකාබද්ධ අරමුදලේ අගයයි. අනෙක රටේ මහ බැංකුවෙන් පවත්වාගෙන යනු ලබන රටේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයයි.

පමණට වඩා මුදල් ඇදගත් ඒකාබද්ධ අරමුදල

ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුව, රජය වෙත ගලා එන සියලු මුල්‍ය ප්‍රවාහ ඒකාබද්ධ අරමුදල වෙත බැරවිය යුතුය. ඒවා, බදු ආදායම්, ණය ලැබීම්, ලාභාංශ හා පොලී ලැබීම්, පරිත්‍යාග සහ සියලුම ලැබීම්වලින් සමන්විතය. ගිණුමේ යම් හරවීමක් සිදුවේ නම් අයවැය සම්මතවූ සැණින් ඊට නියමිත පනත ඔස්සේ පාර්ලිමේන්තුවෙන් මුදල් අනුමත විය යුතුය. එම හරවීම් උදෙසා මුදල් අමාත්‍යවරයා නිකුත් කරන වොරන්ටි බලපත්‍රයක් ඔස්සේ ගෙවීම් අනුමත විය යුතුවේ. එහිදී බැරවීම් අයවැයේ ආදායම් පැත්තට සමාන විය යුතුය. හරවීම් අයවැයේ වියදම් පැත්තට සමාන විය යුතුය.

න්‍යායානුකූලව ආදායම් වියදම්වලට සමාන විය යුතු බැවින් ඒකාබද්ධ අරමුදල තුලනය විය යුතු ය. කෙසේ වුවද වියදම් ප්‍රවාහ, ආදායම් ප්‍රවාහ සමග සමකාලීකකරණය නොවීම හේතුවෙන්, ඕනෑම කාලයක දී ප්‍රායෝගිකව එහි සුළු අතිරික්තයක් හෝ හිඟයක් පවතී. එහෙත් කාලයක් සමග වියදම් ප්‍රවාහ හා ආදායම් සිදුවීමත් සමග තාවකාලිකව තිබූ අතිරික්තය හෝ හිඟය දුරුවී යයි.

එහි අතිරික්තයක් තිබුණේ නම්, ඒවා මහජන ණය අඩුකර ගැනීම සඳහා යොදාගත හැකිය. නැතහොත් මෑතකදී සිංගප්පූරුව කළාක් මෙන් එය නැවත ජනතාව වෙත යැවිය හැකිය. එහෙත් එහි ඇත්තේ හිඟයක් නම්, එම හිඟය වසරින් වසර වැඩිවේ නම්, එය රටේ ප්‍රධාන මූල්‍ය ගැටලුවක් පිළිබඳ සංඥාවකි. ශ්‍රී ලංකාව සිටින්නේ මෙම අවසාන වශයෙන් කී තත්ත්වයේය.

ඒකාබද්ධ අරමුදල ඉක්මවා මුදල් ගත් තත්ත්වය පසුගිය වසර කිහිපය තිස්සේම වැඩි වූයේය. මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව අනුව 2018 අගවනවිට අරමුදලේ ඍණ අගය රු. බිලියන 304 කි. මෙම ඍණ ස්වභාවය 2019 අග වන විට රුපියල් බිලියන 437 දක්වා වැඩි විය. 2020 අගදී රුපියල් බිලියන 636 බවට පත් එකී ඍණ ස්වභාවය 2021 අගවන විට රුපියල් බිලියන 990 ක් බවට පත්ව තිබිණි. එතැන් පටන් එහි තත්ත්වය මෙතෙක් දැනගන්නට නොමැති වුවද 2022 මුල් භාගයේදී වාණිජ බැංකුවලින් සහ මහ බැංකුවෙන් බරට ණය ගැනීම නිසා එම ඍණ අගය තවත් වැඩිවී තිබිය යුතුය.

වෙනත් පමණ ඉක්මවා මුදල් ඇදගත් ගිණුම්

එහෙත් භාණ්ඩාගාරය පමණ ඉක්මවා වැය කළ මුදලේ ශුද්ධ අගය ඒකාබද්ධ අරමුදලට පමණක් සීමා නොවේ. එය රුපියල් බිලියන 798 ක ණය අයිරා පහසුකම්, රාජ්‍ය බැංකු දෙකකින්ද මහ බැංකුවෙන් රුපියල් බිලියන 150 ක ගිවිසුම්ගත අත්තිකාරමක්ද ලබාගෙන තිබේ. 2021 අගවන විට ඒ අනුව ගිණුම්වලට තිබෙනවාට වඩා වැඩිපුර ගත් මුදල රු. බි. 82 ක් පමණ වේ.

ඒ අනුව 2021 අග වනවිට භාණ්ඩාගාරය ගිණුම් ඉක්මවා ලබාගත් මුදල් එකතුව රුපියල් බිලියන 1920 කි. අලුතෙන් පත්වන රජය එහි මෙහෙවර දියත් කිරීමට ප්‍රථම භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි ඇගැයුමක් ලබාගත යුතුවේ. භාණ්ඩාගාරයේ ගිණුම්වල පමණට වඩා මුදල් පරිහරණය කිරීම නවතා දැමීම අලුත් රජය විසින් කල් තබනු ඇත.

රජයේ කෙටිකාලීන සතුට උදෙසා මුදල් හදිසියට ගැනීම මේ වනවිට ක්‍රමෝපායක් බවට පත්ව තිබේ. එහෙත් කෙටි කාලයේදී එය ජයගත නොහැකි මහා දෝෂයක් බවට පත්වනු ඇත. අතීතයේදී බලයට පැමිණි ආණ්ඩු එකින් එක කර ඇත්තේ මෙම ක්‍රියාවම ය. මෙම නාස්තිකාර හැසිරීම ඔස්සේ අතීතයත් වර්තමානයත් නිර්ලජ්ජිතව බුක්ති විඳින ඔවුහු ඊළඟ රජයට ගැටලුව පවරා යති. ඊළඟට පත්වන ආණ්ඩුවද ඔවුන්ගේ බලකාලය බුක්ති විඳිමින් ගැටලුව තව තවත් තර කරයි. අවසානයේ මුළු රටම පීඩා වින්දේ රජයේ සිටි උදවිය ජාතියේම සම්පත් කොල්ල කෑම කළ පසුවය.

විදේශ සම්පත්

විදේශ සම්පත් යනු රටක ශක්තිය විදහාපාන තවත් දර්ශකයකි. පුරාණ කාලයේ රජයේ භාණ්ඩාගාරය රන්රිදී මුතු මැණික් විදේශ රන් කාසි හා දියමන්තිවලින් පිරී ඇත්නම්, එම රජු ඉතා පොහොසත් අධිපතියකු ලෙස සැලකිණි. එසේ වූයේ ඒවා රජුට රටෙන් පිටත කිසිම පාර්ශවයකට ගෙවන්නට බැඳිමක් නොමැති සැබෑ වටිනාකමෙන් යුතු වත්කම් නිසාය. එහෙත් රජු විදේශ මූලාශ්‍රවලින් ණය ලබා ඇත්නම්, එම ණය මෙම වත්කම්වලින් ගෙවන්නට පොරොන්දු වී ඇත්නම් එවිට පින්තූරය තනිකර වෙනස්වේ. එවිට නැවත ණය ගෙවන විට ඒවායින් කොටසක් ගෙවිය යුතුය. එවිට භාණ්ඩාගාරය මුළුමනින් පිරී ඇති බව පෙනෙන්නට තිබුණත් ඒවායේ අගය ක්ෂය වී යන්නේ රජුට විදෙස් රටකට ණය ගෙවන්නට තිබෙන නිසාය. මෙකී අවසාන වශයෙන් කී තත්ත්වය බොහෝ දුරට මහබැංකුවේ තත්ත්වයට සමානය. එය සතුව විදේශ සංචිත තිබිය හැකිය. එහෙත් එම සංචිත ගොඩ නගා ඇත්තේ බටහිර මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමෙන් නම් ඒවායේ වටිනාකමක් රටට නැත.

ශුද්ධ විදේශ වත්කම්

ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී විදේශ මූලාශ්‍රවලින් බොහෝ ණය ලබා ගත් බැවින්, එහි විදේශ සංචිත ශුද්ධ පදනමෙන් ගත් විට ඍණ තත්ත්වයේ පවතී. 2021 මැයි මාසයේ පටන් එහි පවතින තත්ත්වය එවැන්නකි. එම මාසයේ එම සංඛ්‍යාව ඍණ ඩොලර් මිලියන 175 කි. ඉන් පසු එළඹුණු කාල පරිච්ඡේදයේදී මාසයෙන් මාසය ඍණ සංඛ්‍යාව තව තවත් වැඩි වූයේය. ඒ අනුව 2022 මැයි මාසය අගදී (මෙම දත්ත දැනගැනීමට ඇති අවසාන මාසය එම මාසයයි). ප්‍රසිද්ධියට පත් කොට ඇති දත්තවලින් පෙන්වාදී ඇත්තේ එම ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 4 ක් බවයි. එහෙත් මෙම සංඛ්‍යාව පමණට වඩා අඩුවෙන් වාර්තා වීමකි. හේතුව ඊට ඩොලර් බිලියන 1.5 ක යුවාන් හුවමාරු (SWAP) ණය පහසුකමක් රටේ විදේශ සංචිත ලෙස ඇතුළත්ව තිබීමයි. ණය කොන්දේසි අනුව (SWAP) හුවමාරු ණය මුදල භාවිතා කළ හැක්කේ රටේ දළ සංචිත, ඉදිරි මාස තුනකට හෝ ඊට වැඩි කාලයකට ආනයන උදෙසා ගෙවීම් කිරීමට ප්‍රමාණවත් නම් පමණකි. එම මුදල රටේ විදේශ සංවිත වටිනාකම් ලෙස ඇතුළත් කිරීම විධිමත් බවට පටහැනි වේ. එම මුදල හැර ගණන් බැලූ විට, ඉහත කී ඍණ ස්වභාවය 2022 මැයි මාසයේදී ඩොලර් බිලියන 5.5 දක්වා වැඩිවේ. රුපියල්වලින් දැක්වූ විට එම ප්‍රමාණය (ඍණ) රුපියල් බිලියන 1980 කි. (දැනට පවතින හුවමාරු අනුපාතිකය අනුව).

රජයේ ඍණ තත්ත්වය

මේ ආකාරයෙන් මෙම මූලාශ්‍ර දෙක ඇසුරින් බැලූවිට රුපියල් බිලියන 3900 කි. අලුත් රජය කටයුතු ඇරඹිය යුත්තේ මෙම ණය තත්ත්වය මතය.

මාස හයක් තුළ ප්‍රබල ක්‍රම වෙනසක් කිරීම උදෙසා ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් රජය කුමක් කළ යුතු වේද? දිගුකාලීන වැඩ පිළිවෙළක් සඳහා රජයට බලය පැවරී නැත. කරන කටයුතු කෙටිකලකදී සැණෙකින් කළ යුතුය.

කඩිනමින් කළයුත්ත වන්නේ භාණ්ඩාගාරයේ අඩුවූ සම්පත් නැවත පුරවා ගැනීම සහ යම් තරමක විදේශ සංචිත ශේෂයක් අත්පත් කර ගැනීමයි. පළමුවැන්න රාජ්‍ය සේවා අඛණ්ඩව බාධාවකින් තොරව පවත්වාගෙන යා යුතුවීමය. දෙවැන්න ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර හා කර්මාන්ත උදෙසා අමුද්‍රව්‍ය රට තුළට ගලා ඒම තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවයි.

යෝජිත මුදල් අච්චු ගැසීම් හා එහි ප්‍රතිඵල

අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයා පැවසූ ආකාරයට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්නට ආණ්ඩුව හැකි වන තරමේ මුදල් ප්‍රමාණයක් පවා භාණ්ඩාගාරයට ගලා එන්නේ නැත. එම නිසා ඊළඟ හයමාසයක කාල පරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 1000 ක් ඔහුට ඕනෑකර තිබේ. මේ වනවිටත් මහ බැංකුව රජයේ මුල්‍ය අවශ්‍යතා උදෙසා රුපියල් ට්‍රිලියන 2.2 ක් සපයා දී තිබේ. මෙය මුදල් සංචිත පදනම දැවැන්ත ලෙස විස්තාරණය කිරීමක් වුව මහ බැංකුව දේශීය වශයෙන් පිටතට ගලා යන මුදල් ප්‍රවාහ ඉතිරි කරගෙන ඇත. ඒ විදේශ සංචිතවල ශුද්ධ ඍණ තත්ත්වයක් තිබීම හේතු කොට ගෙනය. ඒ ආකාරයට සංචිත මුදල් පදනම 2019 බිලියන 932 ක තිබී 2022 ජූලි මාසයේ පළමු සතිය වන විට රු. බිලියන 1454 කින් වැඩි කරගෙන තිබේ.

මෙහිදී තවත් රුපියල් බිලියන 1000 ක් මහ බැංකුවෙන් ප්‍රදානය කළහොත් තව දුරටත් මුදා හරින්නට විදේශ සංචිත ඉතිරි වී නැත. මේ ආකාරයට රට තුළ එම තත්ත්වය මුළුමනින්ම පවතිනු ඇත්තේ ද්විතියික මුදල් සැපයුම වැඩිවී මේ වනවිට වසරකට සියයට 70 මට්ටමේ පවතින උද්ධමනීය පීඩනය තවත් ඉහළ නංවමිනි. මේ වන විට ශ්‍රී ලංකාවේ ඇත්තේ එක දිගට පිම්මේ වැඩිවන උද්ධමනයකි. එය අසකු පනින්නා සේ එක් මට්ටමකින් තවත් මට්ටමකට පනී. එමනිසා උද්ධමනය අධිඋද්ධමනය බවට පත්වීම වළක්වාගත නොහැකි වේ. එයින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික පද්ධතියම කුඩු පට්ටම් කර දමනු ඇත. මන්දයත් එවිට කිසිම අයකු ශ්‍රී ලංකාවේ රුපියල පිළිනොගන්නා බැවිනි. එම නිසා රනිල් කළ යුත්තේ මූල්‍ය මණ්‍ඩලයේ සමග එකඟතාවකට එළඹ ඒ හා සමාන මුදලක් නැවත බැංකුවට ගෙවිය හැකි කාල සීමාවක් හඳුනාගෙන තීරණය කිරීමයි. ඒ අරමුණ උදෙසා ඔහු අලුත් බදු අයකර ගැනීමේ පියවර හඳුන්වා දිය යුතුය. ඒ ආකාරයට ඔහු භාණ්ඩාගාරය පිරවිය යුත්තේ සාමාන්‍ය රාජ්‍ය සේවා පවත්වාගැනීමට පමණක් නොව මුලින් සිදුවූ මූල්‍ය විස්තාරණය යථා තත්ත්වයට පත්කර ගැනීමද උදෙසාය. මෙය රනිල් බැරෑරුම් කටයුත්තක් ලෙස සලකා කළ යුත්තේ ගෝඨා ආර්ථික උද්ධමනය පිම්මේ යන මට්ටමට වැඩි කළේ යයි චෝදනා ලැබූ නිසාය. එසේ නොකළහොත් ඔහු උද්ධමනය අධිඋද්ධමනය බවට පත් කළ බවට චෝදනා ලබනු ඇත.

නව පාලකයන් ඉදිරියේ ඇති අභියෝගය

විදේශ සංචිත ගොඩනැගීමේ අවශ්‍යතාව සලකා දැනට ණය ලබාගැනීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා පල දරන තුරු සක්‍රිය ලෙස එය හඹා යා යුතුය. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය ද නිමා කොට වසරේ ඉතිරි කාලයේ පැවැත්ම සඳහා ගිවිසුම්ගතව මුදල් සම්පාදනය කර ගත යුතුය. මෙම කාර්ය තුනම සිදු වනුයේ එක් කොන්දේසියක් මතය. සියලු අහිතකර බලවේග මැඩගෙන ඉදිරියට යාහැකි රජයක් ඇති බවට සෙසු ලෝකයාට සනාථ කර පෙන්වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඒ සඳහා තිබිය යුතුය. මෙය කරනවාට වඩා කියන්නට නම් හරිම පහසු වූවකි.

දැනට ඇණහිට ඇති තත්ත්වයෙන් රට වර්ධනීය තත්ත්වයකට ගෙන ඒම සඳහා පැහැදිලි කඩ ඉම් හඳුනාගෙන, මධ්‍යම කාලයේ සිට දීර්ඝ කාලය දක්වා දිවෙන සැලස්මකට ශ්‍රීලංකාව අනුගත වියයුතුය.