පස් දින නිළ සංචාරයක් සඳහා ඇය ඊයේ (18) දින මෙරටට පැමිණි, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනී මාරියා ගාර්සා මහත්මිය අද (19 )උදෑසන කොළඹ කොටස් වෙළඳපොලේ සාම්ප්‍රදායික සීනුව නාද කිරීමේ අවස්ථාවට එක් වූවාය.
මේ වනවිට ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති දැවැන්ත සංවිධානයක් වන ජාත්‍යන්තර වාණිජ මංඩලය ගෝලීය වශයෙන් දැනට ක්‍රියාත්මක ලොව විශාලතම සහ බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙසද සැලකේ .
ඒ අනුව එම සංවිධානයේ සභාපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය , මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහි ද සැලකිය යුතු ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇති බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකාවේ සභාපති නීතිඥ ඇන්තනි ශනිල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසීය .
මෙහිදී අදහස් දැක්වූ සභාපතිනිය, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට වැඩසටහන් රැසක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවාය.ශ්‍රී ලංකා පවතින ඓතිහාසික වැදගත්කම පෙරදැරිව මෙරට සංචාරක කර්මාන්තයට ඉතා සාර්ථක දිගු ගමනක් යා හැකි බව ඇය පැවසුවාය.එසේම මෙරට ඉතාමත් දියුණු මානව සම්පතක් ඇති බවත් එය නිසි පරිදි සකස් කොට රටේ සංවර්ධනයට යොදා ගත යුතු බව ඇය ප්‍රකාශ කළාය.ශ්‍රී ලංකා ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ඩිජිටල්කරණය ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ,ඒ හරහා ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්රයයේ කාර්යක්ෂමතාවය වැඩි වන අතර ඉන් පරිසර හිතකාමී බව ද ප්‍රවර්ධනය වන බව පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවේදී කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපති දිල්ශාන් වීරසේකර මහතා ද ,ජාත්‍යන්තර වානිජ මංඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ද අදහස් දැක්වූහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, WTO සහ WIPO යන සංවිධාන ත්‍රිත්වයම නියෝජනය කරන එකම වානිජ මණ්ඩලය වන්නේද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය වන බවද ශනිල් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය .
මාරියා මහත්මිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිරසර නාගරීකරණය පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරන බවත් , ඒ අනුව ඇගේ සංචාරය හරහා මෙරටට ආයෝජන අවස්ථා රැසක් ළඟා කරගැනීමේ හැකියාවක් ද පවතින බවත් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැහැදිලි කළේය ..
රටවල් අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක් බව නීතිඥ ශනිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මාරියා මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා පැවසුවේ ඇය ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට දක්වන කැපවීම නිසා ඇයට ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්රමුඛ ස්ථානයක් හිමි වී තිබෙන බවය . එපමණක් නොව ඇයගේ පුළුල් අත්දැකීම් හරහා ව්‍යාපාරික ආචාර ධර්ම සහ ආයතනික පාලන ප්රමිතීන් වෙනුවෙන් ඇය කැපවී කටයුතු කරන බවද ශනිල් මහතා පැවසීය .
ශනිල් ප්‍රනාන්දු මහතා සභාපතිත්වය දරන මෙරට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව, පසුගිය වසර 68 පුරාවට ,රට තුළ ව්‍යාපාර වර්ධනය සහ ගෝලීය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම අතින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. බැංකු, රක්ෂණ, පුහුණු සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සේම බේරුම්කරණ ක්‍රියාවලිය
තුළින් ද මෙම මණ්ඩලය රටට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් සිටී . එසේම වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු හරහාද මෙම මණ්ඩලය මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි .