විශේෂාංග


Share now!

ශිෂ්ටාචාරයේ වැඩවසම් යුගයේ සිටම වැඩකරන පන්තියේ ජනතාව පාලකයන්ගේ සූරා කෑමට ලක් වූ බව සත්‍යයකි. වහල් යුගයෙන් පසු බිහි වූ කාර්මික විප්ලවයේ පශ්චාත් ලෝකයේ බිහි වූ කම්කරු පන්තිය ද දරුණු පීඩාකාරී සූරා කෑමට ලක් වූ නිසා වඩා සටන්කාමී ප්‍රජාවක් ලෙස ඔවුන් ලෝකයේ ඉස්මතු විය . හාම්පුතුන් විසින් බරපතළ ලෙස ශ්‍රම සූරා කෑමට ගොදුරු වූ කම්කරු ජනතාව අවසානය රාජ්‍ය බලය හා හාම්පුතුන්ගේ බලය අභිබවා වැඩ කරන පන්තියේ ශක්තිය අනගිභවනීය තත්ත්වයට පත් කළේ 1886 මැයි 04 දය.එහි ආරම්භක අවස්ථාව වූයේ එම වර්ෂයේ මැයි පළමු වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවර ආරම්භ වූ කම්කරු උද්ඝෝෂණයයි.
පොලිස් වෙඩි පහරින් සහ හාම්පුතුන්ගේ සහචරයන්ගේ ප්‍රහාරවලින් මියගිය හා තුවාල වූවන්ගේ රුධිරයෙන් එදා හේමාකට් චතුරස්‍රය තෙත් වී ගියේය.ඒ රුධිරය තම කමිස පොඟවා ගත් සටන්කාමී කම්කරු ජනතාව එම රුහිරු ධජය ලෝක කම්කරු ධජය බවට ස්ථානගත කළහ.
එම මිලේච්ඡ ඝාතනයන් හා කම්කරු නැගී සිටීම සදාකාලික කම්කරු සටන් බිමකට අර්ථ ගන්වමින් 1889 මැයි 01 දා ලොව ප්‍රථම ලෝක කම්කරු දිනය සමරනු ලැබීය.මැයි පළමුවෙනිදා ලෝක වැඩකරන ජනතාවගේ දිනය ලෙස නම් කරන ලද්දේ ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පැරීසියේ පැවති දෙවන ජාත්‍යන්තර සමුළුවේදී ය.එදා පටන් අද දක්වා ලෝකයේ සෑම රටක්ම මැයි පළමුවෙනිදා කම්කරු දිනය ලෙස ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරති.
ලංකාවේ ප්‍රථම මැයි රැලිය හෙවත් කම්කරු පෙළපාලිය පවත් වන ලද්දේ ඒ.ඊ.ගුණසිංහගේ නායකත්වයෙන් 1927 දී ය.නමුත් සමහර ලේඛන වලට අනුව ඒ.ඊ. ගුණසිංහ 1927 දී පවතවා ඇත්තේ කම්කරු සංදර්ශන පෙලපාලියකි.
ඔහු නියම ආකාරයෙන් කම්කරු පෙළපාලියක් හා රැලියක් පවත්වා ඇත්තේ 1933 මැයි තුන්වෙනි දා ය.(දිනමිණ )
ගුණසිංහගේ මැයි පෙළපාලිය ගාලුමෝදර පිටියෙන් ආරම්භ වී වික්ටෝරියා පාර්ක් එකේ රැළියෙන් අවසන් වී ඇත.
එදිනම තවත් මැයි රැලියක් පී.ජිතේන්ද්‍රසිංහගේ නායකත්වයෙන් මැක්ලම් පාරෙන් බොක්සිං ක්‍රීඩා පිටියේ පවත්වා ඇත.මෙහිදී නේසම් සරවනමුත්තු මහත්මිය,කොල්වින් ආර් ද සිල්වා හා මලයාලම් ජාතික (කොච්චි) පී.ආර්.කුරුප් නමැත්තාද රැලිය අමතා ඇත.

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් බිහි වූ දේශපාලන පක්ෂ, දේශපාලන සංවිධාන සහ වෘත්තිය සමිති සංවිධාන විසින් තමන්ගේ මැයි රැළි පැවැත්වා ඇත.
වර්තමාන ප්‍රධාන මැයි රැළි පවත්වනු ලබන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙනි.වෘත්තීය සමිති ද තම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මැයි රැළි පවත්වති. නමුත් ඒවා කොතෙක් දුරට කම්කරුවන්ගේ හඬ ඉස්මතු කරන බලවේග දැයි යන්න ගැටලුවකි.

1959 දී ආරම්භ කරන්නට යෙදුන ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වය පවත්වනු ලබන කම්කරු මැයි රැලිය සහ කම්කරු පූජාව මේ වන විට වසර හැට තුනක් පුරාවට අඛණ්ඩව පවත්වා ඇත.

1953 හර්තාලයේ අත්දැකීම් පෙරදැරිව සමාජවාදී ඉගැන්වීම් පිළිබඳව අධ්‍යනයක නිරත වී සිටි තරුණ පිරිසක් ආගම හා සමාජය අතර ඇත්තා වූ ඓන්ද්‍රිය බැඳීම ඉස්මතු කරමින් 1959 දී ප්‍රථම වරට කම්කරු පූජාව ආරම්භ කර ඇත.
එය පදනම් කරගෙන “කිතුනු ඔබයි – වෘත්තිය සමිතියයි” ලියවිල්ල බිහි විය.
මෙම කම්කරු පූජාව සහ කම්කරු රැලියට ගොවි, කම්කරු,වතු කම්කරුවන්,ධීවරයන්,සුළු කාර්මිකයන්,ලිපිකරුවන්,බැංකු සේවකයන් වැනි වැඩකරන පන්තියේ ජනතාව සෑම අංශයකින්ම නියෝජනය කෙරිණ.
1960 මුල්ම කම්කරු පූජාව හා මැයි සමරු රැලිය පවත්වන ලද්දේ කොල්ලුපිටිය ශා.මයිකල් දෙව්මැදුර හෙවත් පොදු ජනතාව ගල් පල්ලිය නමින් හඳුන්වන දේවස්ථානයේ පරිශ්‍රයේදී ය.ඉන්පසු විටින් විට විවිධ හේතු මත වෙනත් ස්ථානවල කම්කරු මැයි රැලිය සහ කම්කරු පූජා පැවැත් වූ අතර, අද වනවිට වැඩිම වාර සංඛ්‍යාවක් එම කම්කරු මැයි රැලිය සහ කම්කරු පූජාව පවත්වා ඇත්තේ මෙම කොල්ලුපිටිය ගල් පල්ලිය පරිශ්‍රයේ ය.

මෙම මැයි රැලිය සහ කම්කරු පූජාව මෙම දේවස්ථානය කේන්ද්‍රකරගෙන අඛණ්ඩව පැවති අතර, කම්කරුවන් සහ ඔවුන්ගේ සටන් එක ආගමකට ලඝු නොවන බවට ප්‍රකට කරමින් කම්කරු ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය විසින් මෙම කම්කරු පූජාව හා මැයි රැලිය විවිධ පොදු ස්ථානවල සහ ශාලාවල ද පවත්වා ඇති බව එහි ක්‍රියාකාරී පැරැන්නෝ පෙන්වා දෙති.
1971 තරුණ කැරැල්ල අවස්ථාවේදී එවකට පැවති රජය කොළඹ බ්‍රිස්ටල් වීදිය හි පැවැති ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්ව කාර්යාලයට සීල් තැබීය. එහි දී මැයි රැලිය හා කම්කරු පූජාවේ ප්‍රධාන ඉල්ලීම වූයේ කැරලි ව්‍යාපාරයට සම්බන්ධ තරුණයන් හට සමාව දිය යුතුය යන්නය.
අසූවේ ජුලි වර්ජකයින්ට ද සෘජුවම සිය පූර්ණ සහය දැක් වූ ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ හිමියන් සමග එක්ව රත්මලාන මැලිබන් මංසන්දියේ පවත්වනු ලැබූ කම්කරු පූජාව එකල මෙරට මාධ්‍ය වල ඉහළින්ම සාකච්ඡාවට ලක්වූ කරුණක් විය.
87-89 දකුණේ භීෂණය මධ්‍යයේ ද ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සිය මැයි දින කම්කරු පූජාව අඛණ්ඩ පැවැත්වීම පැවැත්වීම සුවිශේෂ ජයග්‍රහණයකි.

මෙම කම්කරු පූජාවන් හි විශේෂත්වය වන්නේ එය එක ආගමකට හෝ ජාතියකට හෝ එක පන්තියකට හෝ ශ්‍රම බලකායකට ලඝු නොවීමය.විශේෂයෙන් දේවස්ථානයක් තුළ පැවැත්වෙන පූජාවකදී පංචශීලය සමාදන් වීම සිදුවන්නේ මෙම කම්කරු පූජාවේ දී පමණි.

එසේම මෙම කම්කරු පූජාවෙන් තවත් ශ්‍රී විශේෂත්වයක් වන්නේ පූජා චාරිත්‍ර හා ඊට අදාළ ඇඳුම් පැළඳුම් සියල්ල දේශීයත්වය පදනම් කරගත් මෝස්තර වලින් සැරසී පැවතීමයි.විශේෂ එහිදී මගුල් මගුල් බෙර හා ජය ශංඛ නාදය සුවිශේෂ වේ.මෙම පූජාව සම්පූර්ණයෙන්ම ස්වදේශීයත්වය පෙරදැරිව අලංකෘත වී ඇත.
එසේම මෙම කම්කරු පූජාවේ සිංහල.පදමාලාව සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන් ම රචනා කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදියෙකු වන ප්‍රේමරංජිත් තිලකරත්න මහතා ය.ඒවායේ තනු නිර්මාණය සිදුකර ඇත්තේ ප්‍රවීණ සංගීතඥ ඔස්ටින් මුණසිංහ මහතා වීම විශේෂත්වයකි.

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය වසර 63 කට ආසන්න කාලයක් අඛණ්ඩව පවත්වා ගෙන එන කම්කරු මැයි රැලිය හා කම්කරු පූජාවේ පුරෝගාමී ගෞරවය හිමිවන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ නීතිඥ විජය විද්‍යාසාගර සහෝදරයාටය.
එසේම වසර 63 කට ආසන්න කාලයක් පුරා මෙම උත්කෘෂ්ට කාර්යය අඛණ්ඩ පවත්වාගෙන ඒමට ධෛර්යසම්පන්න අනගිභවනීය සහය ලබාදුන් අය අතර ලංකා සභාවේ අගරදගුරු ලක්දාස ද මැල්,රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ,රදගුරු ලියෝ නානායක්කාර,අාචාර්ය ලීන් ද සිල්වා,සේවක යොහාන් දේවානන්ද,මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමා,ඒන්ස්ලි සමරජීව සහෝදරයා,ඕඩ්රි රිබේරා සොයුරිය ප්‍රමුඛ වේ.

ඒ අනුව මෙවරද ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය කම්කරු රැලිය ඊයේ (අප්‍රේල් 30 ) දින පෙරවරු 8:30 ලිප්ටන් වටරවුම අසල බැප්ටිස්ට් දේවස්ථානය ආරම්භ වී කිංසි පාරේ ශාන්ත පාවුළු දේවස්ථානයේ පවත්වන කම්කරු පූජාවෙන් අවසන් විය .