‘ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ‌කඩිනමින් අවසන් කරනවා’ – ඉන්දීය මහකොමසාරිස්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ඉන්දීය නිවාස ව්‍යාපෘතිය , ඉන්දීය ආධාර යටතේ විදේශ රටක ක්‍රියාත්මක විශාලතම ආධාර ව්‍යාපෘතිය වන බවත් ඊට අයත් නිවාස 63000 කඩිනමින් සාදා නිමකිරීමට බලාපොරොත්තුවන බවත් ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං මහතා අවධාරණය කර සිටී

වතුකරයේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය, හෙල්බොඩ ඉදිකළ නිවාස 98කින් සමන්විත භගත් සිං පුරම් ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පවතී විශේෂ උත්සවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය .ඉන්දියානු නිදහස් සටනේ වීරයෙකු වන භගත් සිං ගේ නමින් මෙම ගම්මානය නම් කර තිබේ.

මෙම උත්සවය අමතමින් මහ කොමසාරිස්තුමා අලුතින් ඉදි කරන ලද නිවාසවල හිමිකරුවන්ට සිය සුබ පැතුම් එක් කළ අතර ඇමරිකානු ඩොලර් මිලියන 350 කට අධික (ශ්‍රී ලංකා රුපියල් බිලියන 50 ක් පමණ) මුල්‍ය ප්‍රදාන යටතේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය ඉන්දීය ආධාර යටතේ විදේශ රටක ක්‍රියාත්මක විශාලතම ආධාර ව්‍යාපෘතිය බවද පැවසීය. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 63,000 න් නිවාස 47,000 ක් මේ වන විට ඉදිකර අවසන් බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව නිරතුරුවම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා ඉන්දියානු රජය සහ ජනතාව සාමය හා සමෘද්ධිය වෙත පියමනින ශ්‍රී ලාංකේය ජනතාව සමඟ නිබඳව සිටින බව අවධාරණය කළේය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, කුසලතා සංවර්ධනය, යටිතල පහසුකම් සහ වෘත්තීය පුහුණුව වැනි විවිධ ක්ෂේත්‍රයන්හි 70 කට අධික ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් දිවයින පුරා ක්‍රියාවට නංවා ඇත. මෙවැනි ව්‍යාපෘති 20ක් පමණ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ සංවර්ධන සහයෝගිතා ආධාර ලබා දී ඇති අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 560ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන වේ.