ඔබගේ වහලයට ටකරමක් – උන්ගේ මාලිගාවට ඡන්දයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සුරතේ වැලමිට දක්වා බැදගත් “පිරිත් කඹ” පෙන්වමින් ඔබ ඉදිර්යේ දෙසා බාන ලද දේශපාලන පොරොන්දු හා කිසිදා සැබෑ නොවන සිහින එළඹෙන සතියෙන් ඉක්බිති අන්ත්‍රස්දහන් වී යනු ඇත. මෙවරත් ඔවුන් ඔබගේ පැල්පතතේ වහලය සෙවිලි කර ගැනීම සදහා ටකරම් තහඩුවක් තෑගි කොට ඒ වෙනුවෙන් ඔබගේ වටනා ඡන්දය ඩැහැගෙන ඔවුන්ගේ මාලිගාව තැනීමේ සිහින සඵල කර ගැනීම වස් පාර්ලිමේන්තු යනු ඇත. එළැඹෙන සය වනදා සිට ඡන්දදායක ඔබ පෙරදා මෙන් දේශපාලුවන් විසින් ඔබව නැවත වතාවක් රැවටූ බව පවසමින් අදෝනා පවත් වනු ඇත. වලව්වේ හාමුට එදා ඔබගේ දෙමාපියන් විසින් පිදූ ඒ ඡන්දය අද ඔබ විසින් එකී හාමුගේම මුණුබුරාවෙත පිදීමට සැදී පැහැදී සිටිනවා විය යුතුය. නමුත් ඉහතකී රැවටීමේ චක්‍රය තවත් කෙතරම් කලක් ඔබ දෝතින් වැළද ගන්නද?

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් පැවති මාධ්‍ය හමුවකදී එකී සංවිධානයේ නියෝජිතයින් විසින් හෙළි කරන ලද්දේ මෙවර මැතිවරණය සදහා අපේක්ෂකයින් රුපියල් මිලියන් 1597 අධික මුදලක් වැයකර ඇති බවට සිය සංවිධානය මගින් ගණන් බලා ඇති බවයි. නමුත් එහිදී හෙළි කරන ලද්දේ එසේ ඉදිරිපත් කරන ලද අගයන් සමස්ත වියදමෙන් සියයට 30 පමණක් වන බවයි. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන ලද්දේ මාතර පැවති ජන රැලියක් සදහා පාක්ෂිකයින් ගෙන්වීම සදහා එක් බසයකට රුපියල් 15000 ක මුදලක් මෙන්ම ජනාධිපතිවරයාද සහභාගී වූ එකී රැස්වීම සදහා එකී අපේක්ෂකයා විසින් එසේ මුදල් ගෙවා බස් රථ 103 පමණ ගෙන්වා ඇති බවයි. එසේම බදුල්ල දිස්ත්රික්කයේ අපේක්ෂකයකු විසින් සාමාන්‍ය ජනයා වෙත රුපියල් 5000 නෝට්ටු කෝටි දෙකක මුදලක් බෙදා දී ඇති බවය.

මෙලෙස මුදල් විසි කරමින් දේශපාලකයින් මෙතරම් තරගකාරී ලෙස මනාප පොරයේ යෙදී සිටින්නේ කවර සැගවුණු අරමුණක් උදෙසාදැයි ඔබ සිය විචාර බුද්ධියෙන් විමසා බැලිය යුතුය. ඔවුන් මනාප පොරය සදහා විසි කර පුළුස්සා දමන මුදල් දස ගුණයෙන් හරි හම්බ කරන්නේ ඔවුන් පාර්ලිමේන්තු අසුනේ හිදගත් මොහොතේ පටන්ය. සරල අර්ථයෙන් කිවහොත් මෙකී දේශපාලුවන් පාර්ලිමේන්තුවේ සිට කොල්ල කන්නේ ලාංකීය පුරවැසියාට හිමි භාණඩාගාරයය. එසේම මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට හිමි මෝටර් රථ බලපත්‍රය හොර රහසේ විකුණමින් ඔවුන් මෙතෙක් කොල්ල කා ඇත්තේ ඔබ පුරවැසියෙකු වශයෙන් අත්විදිය යුතු අභිවෘද්ධියේ ඔබට හිමි ජනතා අයිතියය. මෙම කණගාටුදායක තත්ත්වය නැවත නැවතත් ප්‍රකාශකරමින් කාලය විනාශ කිරීම මේ මොහොතේ නොකළයුතුමනාය. ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් තවදුරටත් පවතින්නේ ජනතා පරමාධිපත්‍ය රැකීමට නොවේනම් එකී කතාව නවතා ඔබ හුදෙක් මෙකී විශම චක්‍රය ක්‍රියා විරහිත කිරීම සදහා ක්‍රියාත්මක වියයුතු මොහොත එළබ තිබේ.

මෙවර ඔබ ඡන්දය ලබාදීමට සැදී පැහැදී සිටින්නේ ඔබගේ ආදරණීය දේශපාලන නියෝජිතයා වෙත විය හැකිය, ඔහු ඔබගේ පවුලේ සාමාජිකයින් විසින් පාරම්පරිකව ඡන්දය ලබා දී කවුන්සිලය වෙත පත් කර යැවූ නියෝජිතයා හෝ ඔහුගේ මුණුබුරා විය හැකිය, ඇතැම් විට ඔබ ඔවුන්ගේ සුබසිද්ධිය උදෙසා සෑම ඡන්දයකදීම උන්ගේ දර දිය ඇදීම හේතුවෙන් ඔබගේ දරුවකු හට ලබා දුන් රජයේ කාර්යාල සහයක රැකියාව හෝ ටකරම් තහඩුව හේතුවෙන් ඔබ ඔබගේ දේශපාලන නියොජිතයාට ණයගැතියැයි සිතෙනු ඇත. නමුත් මොහොතක් ඔබ සිටගෙන සිටිනා දිරාගිය ඒදඩු පාළම මතම සිට සිතා බලන්න, ඔබගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය ඔබගේ ආදරණීය දේශපාලකයා මෙතෙක් සෙලවූ රත්තරන් ඇපල් ගසෙන් ඇහිදගත් ඵලදාව ඔබවෙත ලැබුණාදැයි කියා. ඔබගේ සිත තවමත් පවසන්නේ මෙකී දේශපාලුවන් වෙනුවෙන් ඔබගේ ඡන්දය ලබා දෙනලෙස නම් දෙවරක් නොසිතා ඔබගේ ඡන්දය එළබෙන පස්වනදා උදෑසනින් ඡන්ද පොළට ගොස් ඔවුන් වෙනුවෙන් ලකුණු කොට ඔවුන්ගේ සුබ සිද්ධිය තවත් වසර පහක් සදහා සුරක්ෂිත කිරීමට පසුබට නොවන්න. නමුත් ඔබ මෙහි පවතින ගැටලුව හරි හැටි දැකීමට යම් තාක් දුරට සබුද්ධික වන්නේ නම් ඔබගේ ඡන්දය මෙම පවතින විෂම දේශපාලන ක්‍රමයට විරුද්ධව භාවිත කිරීමට පසුබට නොවන්න. ඒ සදහා ඔබ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයකු ඉදිරීයේ ඔබගේ ඡන්දය භාවිත කළයුතු යැයි ම නියමයක් නොමැති බව සිහියේ තබාගෙන ඡන්ද පොළට ගොස් ඔබගේ ඡන්දය නියම ලාංකිකයෙකු වශයෙන් භාවිතකිරීමට වග බලාගන්න.

නීතිඥ  තිලංග ශ්‍යමජිත් ෆොන්සේකා්

මෙල්බන් නුවර සිට