ගුවන් විදුලි නාළිකාවකට ලැබුණු විදෙස් ඇමතුම ගැන විමර්ශන.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘ගණේමුල්ල සංජීවට වෙඩි තැබුවා’ යනුවෙන් පවසමින් පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවකට විදෙස් රටක පුද්ගලයකු විසින් ලබාදී ඇතැයි කියන පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

2025 පෙබරවාරි 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්තිකූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග විදෙස් රටක සිට ලැබී ඇතැයි කියන එම දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත කරුණු වාර්තා කරමින් දන්වා තිබේ.

එම දුරකථන පණිවුඩය අදාළ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවේ වැඩසටහනකදී විකාශය කර ඇතැයි දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දුරකථන පණිවුඩයට අදාළ සංස්කරණය නොකළ හඬ පටයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලබාදෙන ලෙස එම ගුවන් විදුලි ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ වෙත නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.