නවතම පුවත්

ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම වැඩිදුර විභාගය හෙටට කල් යයි

අසංක

අසංක

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට 13.30 තෙක් කල් තබා තිබේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ අද සළකා බැලුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදුවිය.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලියකිවිලි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව මෙහිදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දැනුම් දුනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතා මතු කරමින් කරුණු දක්වා සිටියේ මෙම නඩුවට පදනම් වන කරුණු සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බව, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ විභාග වන මේ දක්වා අවසන් කර නොමැති පරීක්ෂණයක කරුණු පදනම් කරගෙන මෙවැනි පෙත්සමක් විභාගයට ගැනීම ගැටළු සහගත බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණයෙන් තම සේවාදායකයා නිදොස් බවට තීරණයක් පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවද ඔහු පවසා තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන මෙම නඩුවට අදාළ පරීක්ෂණය සම්බන්ධ ලේඛන ලබා දෙන මෙන් තමන් මීට පෙර දින අධිකරණය හරහා වගඋත්තර කරුවන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එම ලේඛන වලින් තෝරාගත් කොටස් කිහිපයක් පමණක් තමන් වෙත ලබාදී ඇති බවත් ඔහු පැවැසීය.

සම්පූර්ණ ලේඛන ගොනුව නොමැතිව මෙම නඩුව හා සම්බන්ධව කරුණු දැක්වීමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදු විය හැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවැසීය.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පැවැසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දැක්වූයේය.

පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව නීතිඥ ප්‍රනාන්දු මහතා පෙන්වා දී ඇත.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කර ඇත්තේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව  නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ද ඔහු සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි