නවතම පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකුවලට – අරමුදල්වලට බලපෑමක් නැතැයි ජනපති කියයි

අසංක

අසංක

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට, කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට බලපෑමක් නැති බවත් හෙතෙම කියාසිටී.

රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිඳු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (27) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ අද (27) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල පිහිටා ඇති රාජ්‍ය ආයතන 37ක් එකම ස්ථානයක ස්ථානගත කරමින් ඉදිකෙරුණු සත්මහල් පරිපාලන සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4000කට ආසන්නය.

2022 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය හා විදේශීය) ඩොලර් මිලියන 83,700කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 128.3%ක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2022 අවසන් වන විට සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 41,500කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 63.6%කි. ඒ වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 42,100ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 64.6%කි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විට ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශීය ණය හිමියන් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය අතර දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය.

බාහිර ණය හිමියන් වශයෙන් විදෙස් ණය හිමියන් විශාල බරක් දරයි.

ඉදිරි වසර 05 තුළදී පමණක් විදේශ ණයකරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17ක දායකත්වයක් ලබා ගැනීමට නියමිත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව අපේ දේශීය ණයකරුවන්ගෙන් ද ඊට දායකත්වයක් ලබා දිය යුතුව ඇති බව පැවසීය.

මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබේ.

මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අනුව බැංකු තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් නොවන අතර බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් නොවන බවත් එමඟින් සිදු වන්නේ ආර්ථිකය යළි නඟා සිටුවිය හැකි ප්‍රතිව්‍යුහගත කිරීමකට මග සෑදීම පමණක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.‍

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීම, පොලී අනුපාතය අඩු වීම, රජයට පහසුවෙන් සහනාධාර මුදල් සැපයීමට හැකි වීම, ඊළග වසර 10 තුළ දේශීය හා විදේශීය වශයෙන් ණය බර අඩු වී එමඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල රටේ මහජනතාවට මෙමගින් හිමිවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!