රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් SDIG රවි වහාම මාරු කෙරේ

Picture of අසංක

අසංක

දකුණු සහ සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාව වහාම කි‍්‍රයාත්මක වන පරිදි කාර්යභාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට මාරුකර ඇත.

ගාල්ල රත්ගම ප‍්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව එම ස්ථාන මාරුවීම ලබාදී ඇතැයි පොලිසියේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇතැයි පැවසෙන්නේ මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති යටතේ පවතින විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.

මාතර එළියකන්ද ප‍්‍රදේශයේ පිහිටි එම පෙලිස් කණ්ඩායම රැදී සිටින ගොඩනැගිලි තුළදී පැහැරගෙන ගොස් අතුරුදන්වූ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනයට ලක්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

පුද්ගලික කාරණාවක් මුල් කරගනිමින් ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවත් එළිය කන්දේදී එක් ව්‍යාපාරිකයකුට ජල ප‍්‍රහාරයක් එල්ල කරමින් කෲර ලෙස වධහිංසා කරන විට ඔහු මියගොස් ඇති බැවින් එය සැගවීමට අනෙක් ව්‍යාපාරිකයා ද ඝාතනය කර ඇති බව විමර්ශනයේදී හෙළිවී ඇත.

ඉදිරි දින කිහිපය තුළ ඊට සම්බන්ධව සියලුම පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.