සුදු සීනි මිලත් රුපියල් 125 කට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සුදු සීනි මිල ද මේ සතියේ සිට පහළ දැමෙනු ඇති බවත් එය රුපියල් 125කට කිලෝවක් අලෙවි කිරීම අවසාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ පැවැසීය.

ඔහු පැවසුවේ අද සිට සතොස හා සමූපකාර හරහා දුඹුරු සීනි රුපියල් 130ක් වැනි මිලකට අලෙවි කරන බවත් බෙදාහැරීමේ කටයුතු මේ සතියේදී ක්‍රමවත් කරන බවත්ය.

මෙරට මහා පරිමාණ සීනි ආනයනකරුවන් සීනි තොග සඟවා ගනිමින් කෘතීම සීනි හිඟයක් නිර්මාණය කිරීම නිසා සීනි කිලෝවක මිල රුපියල් 220 ඉක්මවමින් වෙළෙඳපොලේ අලෙවි වෙයි.

මේ අතර ඊයේ (31) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි ගබඩා පරීක්ෂා කිරීමට ගිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් බලපත්‍ර තිබුණද මාස 8කට වැඩි කාලයක් සීනි තොග වෙළඳපොළට නිකුත් නොකළ ස්ථාන කිහිපයක තිබි සීනි මෙට්‍රික්ටොන් 11,070ක් සොයාගෙන තිබුණි.

සතොස ආයතනයට අයත් වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම සීනි ගබඩාවේ සීනි මෙට්‍රික්ටොන් 5,500 තිබි සොයාගත් අතර එම සීනි තොග මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදිය.

පෞද්ගලික සමාගමක් විසින් ගෙන්වා ඇති මෙම සීනි තොගය මාස 8ක් තිස්සේ වෙළඳපොළට නිකුත් නොකිරීම නිසා එම ගබඩාවට මුද්‍රා තැබීමට නිලධාරින් පියවර ගෙන තිබුණි.