නවතම පුවත්

“IMF” , යක්‍ෂයෙක්ද ? දේවදූතයෙක්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මේ වනවිට ඉතිහාසයේ පෙර නොවූ විරූ  ආකාරයේ  බරපතල ආර්ථික ගැටළු කිහිපයකටම මුහුණදෙමින් සිටින වග නොරහසකි . මේ අතරින්ද වඩාත් ප්‍රබලව ඇත්තේ  විදේශ විනිමය අර්බුදයයි . ඒ අනුව මතුව ඇති  ” ඩොලර් හිඟයේ ” බලපෑම , මේ වනවිට මෙරට  සාමාන්‍ය ජනජීවිතයට පවා ඍජුවම දැනෙන්නට පටන්ගෙන ඇත.

සරලවම කිවහොත් මේ වනවිට මෙරට ආර්ථිකය ඇත්තේ  “ලෙඩ ඇඳේය “.  ලෙඩ ඇඳට වැටී ඇති ආර්ථිකය , නැගිට්ටුවා ගැනීමට , මෙරට  ආර්ථික විශේෂඥයින් , විද්වතුන් මෙන්ම  දේශපාලනඥයින්ද   මේ දිනවල  විව්ධාකාර හදිසි ප්‍රතිකාර යෝජනා කරමින් සිටී .

මේ අතරින් වැඩිපුරම යෝජනා කෙරෙන හදිසි ප්‍රතිකාරය බවට පත්ව ඇත්තේ ‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි’ ( International Monetary Fund ) .

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක , එවැනි  යෝජනාවක්  මතුවීම ගැන පුදුමවිය යුතු නැත . නමුත් ගැටලුව ඇත්තේ එම යෝජනාව ඉදිරිපත් කෙරෙන පක්ෂග්රාහී , අසමබර   හා ඒකපාර්ශවීය ආකාරයේය .

මෙම යෝජනාව ඉදිරිපත්කරන බොහෝ  විද්වතුන් , විශේෂඥයින්  පවසන්නේ මෙරට  ආර්ථික අර්බුදයන්ට ඇති එකම කඩිනම් විසදුම IMF පිහිට පැතීම පමණක්ම  බවය . එසේම එය,  ගැටලුවට ඇති හොඳම හා සාර්ථකම විසඳුම ලෙසද ඔවුන් හඳුන්වාදෙයි . නමුත් ඒ  කිසිවෙකු , ජාත්‍යන්තර අරමුදල හරහා  ණය ආධාර ලබාගැනීමෙන්  අත්විය හැකි අහිතකර , හා අවාසිදායක ප්‍රතිඵල ගැන  කිසිදු සඳහනක් නොකිරීම පුදුම සහගතය .

ලෙඩවී ඇති අපගේ ආර්ථිකයට ,ජාත්‍යන්තර අරමුදලේ බෙහෙත් වට්ටෝරුවෙන් යම් තාවකාලික සහනයක් ලබාගත හැකිවනු ඇත . ඒ ගැන තර්කයක් නැත ,.  නමුත් එය , කිසිසේත්ම “මැජික් අරිෂ්ඨයක්’  නොවේ . IMF බෙහෙත් හරහා ඇතිවන අතුරු ආබාධ බොහෝය . . ගැටලුව ඇත්තේ එතැනය .  අන්ත්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර උපකාර   ගැන වර්ණනා කරන බොහෝ  විද්වතුන් , විශේෂඥයින් , ඒ හරහා මතුවිය හැකි අතුරු ආබාධ ගැන කිසිවක් නොපවසති . IMF  බෙහෙත්  වට්ටෝරුව භාවිතා කල  රටවල්වලට අත්වූ ඉරණම ගැන  කිසිවක් පැහැදිලි නොකරති .

 

 

ඉන්දුනීසියාව යනු මෙලෙස එක වකවානුවකදී IMF බෙහෙත් වට්ටෝරුව ඉහලින්ම භාවිතා කල රටකි . එවක  එරට අගමැතිව සිටි සුහර්තෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර ගෙන ඒ සමගම ලබාදෙන උපදෙස් හා කොන්දේසි මත රටේ ආර්ථිකය මෙහෙයවීය  . මෙම ආර්ථික වැඩපිළිවෙල හරහා කෙටි කලක් තුල රටේ වේගවත් ආර්ථික  වර්ධනයක්ද සිදුවන බවක් පෙනෙන්නට විය . ඒ අනුව එකල බටහිර මාධ්‍යය විසින් ඉන්දුනීසියාව හඳුන්වාදෙනු ලැබුවේ “ආර්ථික ප්‍රාතිහාර්යයක් ” ලෙසය . එහෙත් වසර කිහිපයක් ගතවෙත්ම , එම ආර්ථික ප්‍රාතිහාර්යය , ආර්ථික ව්‍යයසනයක් බවට පත්විය . ඊට ඍජු ලෙසම හේතුවූයේ IMF බෙහෙත් වට්ටෝරුවයි . ඒ ඇතිවූ ආර්ථික කඩාවැටීමෙන්  සම්පූර්ණයෙන් ගොඩඒමට තවමත් එරටට හැකියාවක් ලැබී නොමැත .

ඉන්දුනීසියාව යනු එක් උදාහරණයක් පමණි , එවැනි තවත් උදාහරණ බොහෝය . මෙම තත්වයට හේතුවන්නේ ජාත්‍යන්තර අරමුදල ලබාදෙන ණය   ආධාර නොව , එම ආධාරත් සමග එම පනවන කොන්දේසි හා ලබාදෙන  උපදෙස්ය . ජාත්‍යන්තරමූල්‍ය  අරමුදලෙන් ණය ආධාර ලබාගන්නා රටවල් ඊට අදාළ කොන්දේසි හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටි. මෙම උපදෙස් හා කොන්දේසි බොහෝ මයක් , රටක දේශීය ආර්ථිකය දුර්වල කිරීමට ඉවහල් වන බවට ඇතැම් ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදී ඇත .

, 1997 ආසියානු අර්බුදයේදී, ඉන්දුනීසියාව පමණක් නොව , මැලේසියාව සහ තායිලන්තය වැනි බොහෝ රටවලට අයවැය හිඟය අඩු කිරීමට IMF විසින් දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හඳුන්වාදුන් අතර අවසානයේ එම ප්‍රතිපත්ති හේතුවෙන් දැඩි රැකියා අර්බුදයකට මෙන්ම ආර්ථික  අවපාතයකට මුහුණ දීමට එම රටවලට සිදුවිය .

2001 දී ආර්ජන්ටිනාවට මූල්‍ය සීමා කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බලකෙරින .  මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම නිසා එරට  ආර්ථිකයට බරපතල හානි සිදිවු අතර ,  රාජ්‍ය සේවාවන්හි ආයෝජන පහත වැටීමටද එය හේතුවිය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික උපදෙස්වල ඇති  ගැටලුකාරී තත්වය ගැන පැහැදිලි කිරීමට තවත් කදිම නිදසුනක් ඇත .

එනම් 1959 වසරේදී ජපානයේ ටොයෝටා සමාගම , , ඇමෙරිකානු වෙළඳපොල ඉලක්ක කරගනිමින් , ටොයෝ පැට් නමිත් මෝටර් රථයක් නිපදවීය . එම රථය ඇමෙරිකාව තුල එතරම් ජනප්‍රිය නොවුණු අතර  , එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජපානය වෙත උපදෙස් දුන්නේ , මෝටර් රථ නිෂ්පාදනය ජපානයට නොගැලපෙන බවය , ඒ අනුව මෝටර් රථ නිෂ්පාදනය වෙනුවට කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට ගමන් කරන ලෙසටද එම අරමුදල ජපානයට උපදෙස් දුන්නේය .

කෙසේවෙතත් ජපානය එම උපදෙස් නොපිළිගත් බවනම් මේ වනවිට අපට පැහැදිලිය . නමුත් ,  අද වන විට ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජපානය , එදා  මූල්‍ය අරමුදල ලබාදුන් වැරදි උපදෙස්  පිළිගත්තානම් , එරට ආර්ථිකයට අත්වන ඉරණම කුමක් වනු ඇතිද ?  එය ඔබට අනුමාන කල හැකිද ?

 

IMF and the Poor Countries! | Cartoon Movement

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ප්‍රධානතම කොන්දේසියක් ,  යෝජනාවක් වන්නේ ආධාර ගන්නා රටේ මුදලේ අගය පහත දැමීමය. එසේම නිදහස් වෙළෙඳාම ඇති කරන ලෙසත් ,ආර්ථිකය  මුළුමනින්නම විවෘත කරන ලෙසත්, ආනයනය   අපනයන සම්බාධක ඉවත් කරන ලෙසත් ඔවුහු සැමවිටම පාහේ  නියම කරති. මෙම කොන්දේසි හා යෝජනාවන්හි ඇති  ආදීනව හා ගැටළුකාරී බව  ගැන විග්‍රහ කරමින් , 2002 වසරේදී කේම්බ්‍රිජ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන , “හා ජූන් චැන්ග්” (Ha-Joon Chang) සුවිශේෂී ග්‍රන්ථයක් සම්පාදනය කළේය . එය ‘ kicking away the ladder ‘ නම් විය. එනම් “ඉණිමගට පයින් ගැසීමයි “.

ධනවත් රටව එලෙස ධනවත්වූයේ කෙසේද යන්න මෙම ග්‍රන්ථයේ නිවැරදිව පෙන්වාදී ඇත . එනම් එමරටවල් සියල්ල ආර්ථිකය ගොඩනංවාගෙන  ඇත්තේ තම රටවල් සතුව ඇති ආර්ථික විභවතා නිසි අයුරින් ප්‍රයෝජනයට ගනිමිනි . එම විභවතාවයන් රැකගැනීම හා වර්ධනය කරගැනීම සඳහා  ඔවුන් සැමවිටම තම ආර්ථික  ප්‍රතිපත්ති හා සැලසුම් සකස්කර ඇත . ඒ අනුව  එය යම් ආකාරයකින් ,  සංවෘත ආර්ථික රටාවකි .

නමුත් එම රටවල් දියණු වූ පසුව  දියුණු වෙමින් පවතින  සෙසු රටවල් වෙත උපදෙස් දෙන්නේ , තමන් ගත් මග නොගන්න ලෙසටය  ,එනම් ඉණිමගට පයින් ගසනා ලෙසටය . ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කරන ලෙසත් , ආනයන , අපනයන සීමා සියල්ල ලිහිල් කරනලෙසත් ඔවුන් උපදෙස් දෙති. . ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන්නේද මෙවැනි උපදෙස් හා කොන්දේසි බව ‘ kicking away the ladder ‘  ග්‍රන්ථයේ සඳහන්වේ .

මෙලෙස තම රටවල ආර්ථික විභවතාවයන්  නිසි ලෙස ප්‍රයෝජනයට නොගනිමින් , දේශීය ආර්ථික පද්ධතිය ශක්තිමත් කර නොගනිමින් , සම්පූර්නයෙන්ම විවෘත කල , නිරාවරණය කල , නිදහස් කල  ආර්ථික රටාවක් හරහා කිසිදු රටක් දියුණුවී නැති බවද මෙම මෙම ග්‍රන්ථය පැහැදිලිවම පෙන්වාදී ඇත .

Kicking Away the Ladder: Development Strategy in Historical Perspective: Chang, Ha-Joon: 8601200730739: Amazon.com: Books

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම දෙබිඩි ක්‍රියාවලිය හොඳින් හඳුනාගැනීමට නම් එය පිහිටුවීමට මුල්වූ අරමුණු හා ඊට අදාළ කරුණු පිලිබඳ විමසා බැලීය යුතුමය , කෙසේ වෙතත්  මෙරට ප්‍රකට  මහාචාර්යරයෙකු මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ  ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල පිහිටුවා ඇත්තේ අර්බුදවලට මුහුණදෙන රටවලට පිහිටවීමේ මූලික අරමුණින් යුතුව වන බවය .

මෙම ප්‍රකාශය කෙතරම් දුරට සත්‍යයද ? අපි විමසා බලමු ….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහිවන්නේ 1944 වසරේ ඇමෙරිකාවේ බ්‍රිටන්වුඩ්හීදීය . ලෝකයේ ධනේශ්වර ආර්ථික ක්‍රමය අනුගමනය කරන රටවල් 44ක් එදින බ්‍රිටන්වුඩ්හි පැවති සමුළුවට සහභාගි විය . , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව ලෝක බැංකුවද බිහිවන්නේ ඇමෙරිකාවේ මූලිකත්වයෙන් පැවති මෙම සුවිශේෂී සමුළුවේදීය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහි කිරීමේ සංකල්පය මෙම සමුළුව වෙත ඉදිරිපත් කරන ලද්දේ ලෝක ප‍්‍රකට ඇමෙරිකානු  ආර්ථික විද්‍යාඥයෙක් වන  Harry Dexter White ය  . ඒ අනුව එම අරමුදල බිහිවන්නෙම , ඇමෙරිකානු සැලැස්මකට හා රාමුවකට අනුවය .

1944 යන වකවානුව වන විට දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගය ලඟාවෙමින් තිබිණ . ඒ අනුව ඒ වනවිටත් ජර්මනිය යුද්ධයෙන් පරාජය වන බව ඇමෙරිකාව අවබෝධකරගෙන සිටියේය , එසේම  හිරු නොබසින අධිරාජ්‍යයේ එසේත් නැතිනම් මහා බ්‍රිතානයෙයේද හිරු බැසයමින් තිබිණ . එනම් එරට  සතුව තිබු මහා ආර්ථික ශක්තිය  බිදවටෙමින් තිබිණ . බ්‍රිතාන්‍යය සතුව තිබු එම ආර්ථික බලය , ඇමෙරිකාව වෙත මාරුවෙමින් තිබිණ .

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝකයේ ආර්ථිකය හසුරුවන මහා බලවතා වීමට ඇමෙරිකාව සැලසුම් කරන්නේ ඒ අනුවය . ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු එම මහා  සැලසුමේම කොටසකි . ඒ හරහා ගෝලීය ආර්ථික රෙජීමයක් නිර්මාණය කිරීම ඇමෙරිකාවේ අරමුණ විය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව තම විදෙස් විනිමය ස්ථායිතාවය ආරක්ෂා කරගැනීමට හා  , නිදහස් වෙළඳාම සාර්ථක කරගැනීමට අවශ්‍ය ලෝක වටපිටාව සකස්කර ගැනීමද මෙහිදී   ඇමෙරිකාවේ ප්‍රධානතම ඉලක්කයක් විය . එසේම ලෝකයේ ප්‍රාග්ධන වෙළඳ පොළ පාලනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාවද මෙම අරමුදල හරහා සකස්කරගැනීමට ඇමෙරිකාව දිගින් දිගටම කටයුතු කල බව ආර්ථික විශේෂඥයින් පෙන්වාදී ඇත .

සමස්තයක් ලෙස බ්‍රිටන්වුඩ් සමුලුවේම  අරමුණ වූයේ ඒ වනවිටත් ලෝක ආර්ථික ආධිපත්‍යය හිමිකරගෙන සිටි ඇමෙරිකාවට එම තත්වය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සහය වීම බව ආර්ථික විශේෂඥයකු මෙන්ම විකල්ප ධාරාවේ ප්‍රකට මාධ්‍යවේදියෙකු වන රසල් ජෝන් මහතා තම ලිපියක අවධාරණය කර ඇත . ඇමෙරිකානු ඩොලරය ලෝක සංචිත මුදල ලෙස ද ස්ථාපිත කරන ලද්දේද මෙම සමුළුවේදී වන අතර ඒ අනුව ඇමෙරිකාවේ ආර්ථික හා දේශපාලනමය උවමනාවන් වෙනුවෙන්ම පිහිටවූ ආයතනයක් ලෙස රසල් , විසින් මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වාදී ඇත .

ඇමෙරිකාව තම මිලටරි බලයත් , IMF වැනි ආයතන වල සහයත් ඇතිව . ලෝකයේම ආර්ථිකය තමන්ට රිසි ලෙස හසුරවමින්  සිටින බවටද රසල් ජෝන් මෙහිදී පෙන්වාදී ඇත .

එසේම අමේම අරමුදල , ධනවත් රටවල ප්‍රාග්ධන අතිරික්තයන් ලාභදායී ලෙස ආයෝජනය කිරීමට අවශ්‍ය සහය හා අවස්ථාව සලසා දුන්නත් , දිළිඳු රටවලට කිසිවිටක , එවැනි සහයෝගයන් ලබානොදෙන බවද රසල් වැඩිදුරටත් තම ලිපියේ දක්වා ඇත .

ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ හැරී  ටෲමන් වරෙක  මෙසේ සඳහන් කළේය ,

“ඇමරිකාව ඇතුලේ  ඇමෙරිකානු ක්‍රමයට පවතින හැකිවන්නේ  එය ලෝක ක්‍රමයක් බවට පත් වුණොත් විතරයි.”

ඇමෙරිකානු ජනපතිවරයාගේ එම ප්‍රකාශය නිවැරදිව අවබෝධ කරගතහොත් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ලෝක බැංකුව වැනි ආයතනයන් පිහිටුවීමේ අරමුණ පිළිබඳව මෙන්ම ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැනද  අපට යම් වැටහීමක් ලබාගත හැකිවනු නොඅනුමානය .

March 1, 1947: IMF begins its operations | Knappily

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  ” බිල්ලෙකු” ලෙස මවා පෙන්වීම මෙම ලිපියේ අරමුණ නොවේ . ඇත්තෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිසේත්ම බිල්ලෙකු නොවේ ,එසේම එය  දිළිඳු රටවල් ගිලගන්නට එන මකරෙකුද නොවේ , එය මෙම ධනේශ්වර ආර්ථික රටාව තුල , එහි පැවැත්ම හා වර්ධනය උදෙසාම බිහිවූ තවත් එක් යාන්ත්‍රණයකි . නමුත් ….. IMF යනු දේව දූතයෙකුද නොවන බව අප මෙහිදී අමතක නොකලයුතුය .

ඒ අනුව එවැනි යාන්ත්‍රණයන් සමග අප රටක් වශයෙන් ගනුදෙනු කරනවානම් , එය  කලයුත්තේ  එහි ක්‍රියාකාරීත්වය  හා අරමුණු පිළිබද  නිවැරදි අවබෝධයක්  සහිතවය , බොහොම ප්‍රවේසම්සහගතවය .

එසේ නොමැතිව ,IMF යනු  අපේ ගැටලුවලට පිහිටවීමට එන ඉටු දෙවියෙකු මෙන් සලකා , එහි උපදෙස් , දේව වාක්‍ය ලෙස සලකා  කටයුතු කළහොත් සිදුවන්නේ “කබලෙන් ලිපට වැටීමක්” මිස අන් යමක් නොවේ .

ඒ අනුව මේ මොහොතේ , රටේ ආර්ථික විශේෂඥයින්ගේ  උගතුන්ගේ , විද්වතුන්ගේ සැබෑ යුතුකම හා වගකීම වන්නේද  , මේ තත්වය නිවැරදිව , සමබරව , සාධාරණව  සියලු පාර්ශව වෙත වටහාදීම මිස , තම පුද්ගලික , දේශපාලනික  න්‍යාය පත්‍ර මත පිහිටා , රට ” ගොනාට ඇන්දවීම නොවේ ”

 

(පැතුම් වික්‍රමරත්න)

([email protected])

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි