BREAKING NEWSවිශේෂාංග


Share now!

2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා… බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ මේ 2023 අයවැය. මීට වසරකට පමණ කලින්, 2022 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරද්දී අපි ආර්ථික විද්‍යාඥයෝ හැටියට විවිධ මාධ්‍යය වලට ගිහිල්ලා අපි පෙන්වලා දුන්නා මේ අයවැය කොච්චර උද්ධමනකාරීද කියන එක. අපි පෙන්වා දුන්නා මේ අයවැය මේ විදිහට ගියොත් රට බංකොලොත් වෙන්න පුළුවන්. රටේ ණය අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. 2022 වර්ෂයේ මැද භාගය වෙද්දිම ඒ කියපු අනාවැකි සනාථ කරමින් ලංකාව බංකොලොත් භාවයට පත්වුණා…

එතකොට මේ අලුත් අයවැය, එහෙම නැත්නම් 2023 අයවැයේ වැදගත්කම වෙන්නේ මේ අයවැය තීරණය කරනවා, ඉදිරි ලංකාවේ අනාගතය. ලංකාව බංකොලොත් රටක් හැටියට දිගටම පවතිනවද? එහෙම නැත්නම් අපි මේ බංකොලොත් භාවයෙන් මිදෙනවාද කියන එක තීරණය වෙන්නේ අපි දැන් ගන්නා තීරණ අනුව. එතකොට,මේ අය වැය, වඩාත්ම තාක්ෂණික අයවැයක් වෙන්න ඕනේ. මොකද මේ අය වැය වෙන කවරදාකටත් වඩා අපේ රටේ අනාගතය තීරණය කරන නිසා…

ආර්ථික විද්‍යාඥයෙක් හැටියට මම දකිනවා බංකොලොත් රටක අයවැයක ප්‍රධාන අරමුණු තුනක් ඇතුළත් වෙන්න ඕනේ. එකක් තමයි මේ බංකොලොත්භාවය, මූලික වශයෙන්ම, මේ බංකොලොත්භාවයෙන් රට මුදවා ගන්නේ කොහොමද? කියන ප්‍රශ්නයට විසඳුම් මේ අයවැයෙන් ගේන්න ඕනේ. ඊට පස්සේ මේ අයවැය බලන්න ඕනේ. මේ රටේ හැකිලීමෙන් තිබෙන ආර්ථිකය. මේ හැකිලීම වළක්වා ගන්නේ කෙසේද? මේ කඩා වැටෙන ව්‍යාපාර කඩා වැටෙන එක වලක්ව ගන්නේ කොහොමද? එහෙම නැත්නම් රට අතහැරලා යන ආයෝජකයෝ රටේ රඳවා ගන්නේ කොහොමද කියලා. . අඩුම ගානේ ආර්ථිකය සංකෝචනය වීම නවත්වා ගන්න අපි උත්සහ කරන්න ඕනේ. තුන්වෙනියට ආර්ථික අවපාතයක් එක්ක ලැබෙන ඊළඟ දේ තමයි ජන ජීවිතය අඩාල වීම. ජන ජීවිතයේ අධ්‍යාපන සහ සෞඛ්‍යය මන්දපෝෂණය ඇතුළු සෞඛ්‍යය වගේ ප්‍රශ්න ඇතිවීම. මේවල ප්‍රතිඵල අද හෙට දකින්න ලැබෙන්නෑ. . අධ්‍යාපනය කඩා වැටීමේ ප්‍රතිඵල දකින්න. තව අවුරුදු දහයක් පහළොවක් යනවා. මන්දපෝෂණයේ ප්‍රතිඵල දකින්න තව අවුරුදු පහක්, දහයක් යනවා. එතකොට අපි නිසි පිළිතුරු දුන් නැත්නම් සිද්ධ වෙන්න අර 1980 දශකයේ ඉතියෝපියාවේ උනා වගේ වෙන්න. ඔලුව ලොකු, ඇග කෙට්ටු මන්දපෝෂණයෙන් පෙලෙන ලාංකීය දරුවෝ විදෙස් මාධ්‍ය වල පෙන්නයි, මෙන්න ලංකාවේ තත්වය කියල. ඉතින් මේ ප්‍රධාන කාරණාවලට අයවැය අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ.

ආචාර්ය (නිතිඥ) ශානුක සෙනරත්

මොන ආයෝජකයාද බංකොලොත් රටක ආයෝජනය කරන්නේ?

අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියනවා ජාත්‍යන්තර වෙළදාමේ 100% වර්ධනයක් ඔහු අපේක්ෂා කරනවා. ඉදිරි වසර දහය තුල. ඔහු අපේක්ෂා කරනවා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන තුනක වර්ධනයක් සිදු වෙයි කියලා ජාත්‍යන්තර වෙළඳාමේ. ඒ වගේම මේක වසර දහයක් පුරා මෙලෙස පවතී. ඒ වගේම වර්ෂයකට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක සෘජු විදේශ ආයෝජන ලංකාවට ගලා එයි කියලා ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා. . මේ දේවල් මෙහෙම සිද්ධ වෙයිද?

ප්‍රධාන ප්‍රශ්නේ තමයි මොන ආයෝජකයාද බංකොලොත් රටක ආයෝජනය කරන්නේ? අනිත් ප්‍රශ්නේ තමයි ලංකාව “හොඳටම” නරක පූර්වාදර්ශයක් දුන්න රටක්. අර කුප්‍රකට මිස්ටර් ටෙන් පර්සන්ට් ගේ කාලය. ලංකාව ගැන ජාත්‍යන්තරයේ තියෙන ප්‍රතිරූපය ගැන අලුතින් කියන්න ඔනී නැ.

ඉතින් මේ වගේ අවස්ථාවක, බංකොලොත් රටක, මේ තරම් දූෂිත රටක කුමන ආයෝජකයාද, ඩොලර් බිලියන තුනක් ආයෝජනය කරන්න උත්සාහ කරන්නේ.? ඒ වගේම ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා සමස්ථ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 100% ප්‍රමාණයට වඩා, ඉදිරි වසර කිහිපය තුලදී අඩු කර සීයට අටක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්නත්. මේවා තමයි මූලික වශයෙන්ම අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.

අපි පිළිගන්න ඕනේ මේ වෙලාවේ අයවැය මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙනවා IMF ණය සඳහා අවශ්‍යය වටපිටාව සකස් කරලා දෙන එක. මොකද IMF ණය ලබාගන්න නම් ඔවුන් කියන උපචාරයන්ට අපි එකඟ වෙන්න ඕනේ. මේ අයවැයෙන් අපි දකින ප්‍රධානම ලක්ෂණය තමයි මේ IMF එක කියන දේවල්, IMF එක කරන්න කියලා යෝජනා කරන දේවල් කිරීමට උත්සහ කිරීම. ඒ වගේම මේ අය වැය සමහර හොඳ කාරණා කිහිපයක් කතා කරනවා. .එකක් තමයි මේ බදු කළමනාකරණයට වෙන ආයතනයක් පිහිටවන්න උත්සාහ කරනවා. , වයස දහඅටට වැඩි සෑම කෙනාටම බදු ලිපිගොනු විවෘත කරන්න උත්සාහ කරනවා. , මේ බදු අනුකූලතාවය වැඩි කිරීමට උත්සාහ කරනවා. . මේවා ඔක්කොම හොඳ කතන්දර. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මීට කලින් අය වැය වලදී පවා අපි අරමුණු රාශියක් ගේනවා. හැබැයි කවදාවත් මේවා ක්‍රියාවට නැංවුණේ නෑ..

ආදායම හා රාජ්‍ය වියදම

2023 අය වැය අපේක්ෂා කරන මූලික ආදායම වන්නේ රුපියල් බිලියන තුන්දහස් හාරසිය පහළොවක් (3415). මේක තමයි මේ වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම. වියදම වශයෙන් හඳුනාගෙන තිබෙනවා රුපියල් බිලියන පන්දාස් අටසිය දහනවයක් (5819). හැබැයි මේ රුපියල් බිලියන පන්දාස් අටසිය දහනමය ඇතුලත රජය විසින් යළි ගෙවිය යුතු රුපියල් බිලියන 3800 ක භාණ්ඩාගාර බැඳුම්කර වල වටිනාකම ඇතුළත් වෙලා නැහැ. . නමුත් මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ණය ව්‍යුහය ගැන බලද්දී අනිවාර්යෙන්ම මේ බැඳුම්කර වටිනාකම ඩොලර් බිලියන තුන්දහස් අටසීය ඇතුළත් කරනවා.. ඒ නිසා අපි සත්‍යය වශයෙන්ම ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන දහදාහ ඉක්මවනවා. . ඒ කියන්නේ මේක රුපියල් ට්‍රිලියන වලින් ගත්තොත් රුපියල් ට්‍රිලියන දහයක ප්‍රමාණයක්. මෙතන ගැටලුව තියෙන්නේ. අපේ ආදායමත් එක්ක සලකා, ලා බැලුවහම,අපි හොයන, මේ අයවැය හොයන සෑම රුපියලක් සඳහාම රුපියල් තුනකට වඩා වැඩි වියදමක් මේ අයවැයේ තිබෙනවා.. ගැටලුව වෙන්නේ මේ වියදම් ප්‍රමාණය මේ ආදායමෙන් පියවගන්න පුලුවන්ද?

අපේක්ෂිත බදු ආදායම

ඊළඟ ප්‍රශ්නේ තමයි අපේක්ෂිත බදු ආදායම පහුගිය වසරට සාපේක්ෂව සීඝ්‍ර ලෙස වැඩි කරලා තියෙනවා.. බදු වලින් ලබාගන්න උත්සාහ කරනවා මුළු ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන තුන්දාස් එකසිය තිහක් (3130). 2023 වර්ෂය සඳහා. එයින් රුපියල් බිලියන නමසිය පහළොවක් ආදායම් බදු වශයෙන්ද ඉතිරි රුපියල් බිලියන එක්දහස් හත්සිය හැට තුන බදු වශයෙන්ද ලබා ගැනීමට උත්සාහ කරනවා… ආයෙත් මෙතන අපිට දකින්න ලැබෙනවා අර පෙර ප්‍රශ්නයම. ආදායම් බදු, එහෙම නැත්නම් සෘජු බදු වලට වඩා වක්‍ර බදු වලට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. අපි පෙර කාලයේ ඉතා හොඳින් දැක්කා. වක්‍ර බදු වැඩිවන හැම විටකම ඒක රටේ උද්ධමනය වැඩි කිරීමට හේතු වෙනවා. . ඒ වගේම ආදායම් විෂමතාවය වැඩි කිරීමට හේතු වෙනවා. . මොකද වක්‍ර බදු ගෙවද්දී අඩු ආදායමක් ලබන කෙනා තමන්ගේ ආදායමට සාපේක්ෂව විශාල බද්දක් ගෙවනවා. . වැඩි ආදායමක් ලබන කෙනා තමන්ගේ ආදායමට සාපේක්ෂව ගෙවන්නේ කුඩා බද්දක්. ඒ නිසා වක්‍ර බදු නිතැතින්ම ආදායම් විෂමතාවය සහ දුප්පත්කම වැඩි කිරීමට හේතු වෙනවා.. මෙවර අයවැයෙනුත්, රජයේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් සංයුක්ත වෙන්නේ. වක්‍රබදු වලින්.

රාජ්‍ය මුලනය අවශ්‍යතාවය (Gross Financing Need – GFN)

අනිත් ප්‍රශ්නේ තමයි රාජ්‍ය මුලනය අවශ්‍යතාවය. එහෙම නැත්නම් Gross Financing Need කියන එක.

අපි බලනවා. රජයේ මුළු මූල්‍යමය අවශ්‍යතාවය දළ ජාතික නිෂ්පාදනයෙන් කොච්චරක්ද කියන එක. මේක මේ වෙනකොට 2023 අයවැය අනුව මේ GFN අගය 28% පමණ වෙනවා. . හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංරචකයන්ට අනුව එය අවම වශයෙන් සීයට පහලවක (15%) මට්ටමක පවතින්න ඕන. එතකොට අපිට මේ 28% ප්‍රමාණයත් සමග අපිට කීයටවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුමකට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.. අවශ්‍යය ප්‍රමාණයට වඩා දෙගුණයකින් පැවතීම නිසා. රජයට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම වියදම් අඩු කරලා මේ GFN අගය සීයට පහළවේ මට්ටමේ පවත්වාගෙන යාමට.

ආදායම් සහ වියදම් ප්‍රමාණයන් ප්‍රායෝගිකද?

ඊළඟ ගැටලුව තමයි මේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ප්‍රායෝගිකද කියන එක. මොකද අපි 2022 අයවැයේදී ආදායම් අපේක්ෂා කරා රුපියල් බිලියන දෙදාස් පන්සීයක් (2500). හැබැයි ඇත්තටම ඒ ප්‍රමාණය ලැබුන් නැහැ.. කොහොමද මේ ආදායම මේ රජය ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ.? අපි අයවැය පත්‍රිකාව දෙස බැලුවොත් හැමවෙලාවෙම බදු පැනවීම තුළින් තමයි මේ ආදායම ලබා ගැනීමට උත්සාහ කරන්නේ. මේක වක්‍ර බදු, සෘජු බදු අනෙක් පැත්තෙන් ගාස්තු අය කිරීම ආදී ක්‍රමවේදයන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එක අතකින් පුද්ගලයන් සහ ව්‍යාපාර විශාල බද්දක් ගෙවන්න ඕනේ. ඔවුන් සෘජු බද්දක් ගෙවන්න ඕනේ. ලඟදි අපි 2022 අය වැය සංශෝධනයේදී විශාල සෘජු බදු අගයන් ලබා දුන්නා. , දැන් විශාල වශයෙන් වක්‍ර බදු ගෙවනවා. . ඊට අමතරව ගාස්තු ගෙවීම් වැඩි කරලා තියෙනවා.. ඒ සියල්ලටම අමතරව උද්ධමනය විසින් පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය, එහෙම නැත්නම් පුද්ගලයන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු කරමින් යනවා. . එතකොට මේ වගේ තත්වයක් තමයි රටේ දැන් ඇතිවෙලා තියෙන්නේ. රජය බලාපොරොත්තු වෙනවා අලුතින් Surcharge Tax එකක් පැනවීමට. පෙට්රල් සහ ඩීසල් රුපියල් විසිපහකින් සහ පහළවකින් පමණ යළිත් වටයකින් ගණන් වැඩි වෙයි. අපි දන්නවා පෙට්රල් සහ ඩීසල් ගණන් වැඩි වෙච්චහම ඒක කෙලින්ම ප්‍රවාහන වියදම වැඩි කරන්න හේතු වෙනවා. ඊට පස්සේ විදුලිය වියදම වැඩි කෙරෙනවා. ආයෙත් වතාවක් මුළු රටේම උද්ධමනය වැඩි කරන්න හේතු වෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීම.

සංකෝචනය වෙන ආර්ථිකය

අපි දන්නවා. රටේ ඩීසල් පරිභෝජනය සියයට පනහකින් (50%) මේ වෙද්දි පහළ ගිහිල්ලා.. ඒ වගේම රටේ ගෑස් පරිභෝජනය සියයට විසි පහකින් (25%) පහළ ගිහිල්ලා. . දැන් මේ වෙලා තියෙන්නේ මොකක්ද? මේ අපි මේ ඉතුරු කරන හින්දද මෙහෙම පරිභෝජනය පහළ ගිහිල්ලා තියෙන්නේ? මේ පරිභෝජනය පහළ ගිහිල්ලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා. ව්‍යාපාර වැහිලා යනවා. පුද්ගලයෝ රට හැර යනවා. ව්‍යාපාර රට හැරලා යනවා. , බංකොලොත් වෙනවා. . ඒ නිසා මේ ආර්ථිකය හැකිලෙමින් පවතින නිසා තමයි, මේ ආර්ථිකය දුවන්න අවශ්‍යය ඉන්ධන සහ විදුලි බලය අවශ්‍යතාවය අඩු වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක තවත් වතාවකින් විදුලි බිල, පෙට්රල් මිල වැඩි උනොත් අනිවාර්යෙන්ම තවත් වටයකින් මේ ආර්ථිකය සංකෝචනය වෙනවා. .

පොලී අනුපාතය

දැන් අපි දන්නවා මේ වෙද්දි බැංකුවෙන් අපි ණයක් ගත්තොත් සීයට විසිපහක වගේ පොලී අනුපාතයක් බැංකු අය කරනවා… ගන්න මුදල වගේ හතරෙන් එකක් පොලිය. ඊට පස්සේ භාණ්ඩාගාර බැඳුම්කර වල පොලිය සියයට තිස් තුනක් (33%) විතර. ඒ කියන්නේ මුළු වටිනාකමින් තුනෙන් එකක් විතර පොළී වශයෙන් ගෙවනවා.. ඔබ රජයේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ හෙන්චයියෙක් නෙවෙයි නම් ඔබට බාර් එකක් නැත්නම්, ඔබට ස්කාගාරයක් නැත්නම්, ඔබ කුඩු විකුණන්නේ නැත්නම් සියයට විසිපහක පොලියට ණයට අරගෙන ඔබට කරලා ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා මම අහනවා. . මා දන්නා තරමින්, සියයට විසිපහක පොලියට නයට අරන් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නම් ලේසියෙන් හම්බවෙන්නේ නැහැ. . එහෙම ව්‍යාපාරයක් කරන්න නම්, එක්කෝ ඔබ අර මම කලින් කිව්වා වගේ, ඔය සමහර අපේ රටේ ඉන්නවා කියන සමහර ව්‍යාපාරිකයොන්ට වගේ ඔවුන් ලූණු ගේද්දී ළූණුවල බද්ද අඩු කරලා, ළූණු ගෙනාවට පස්සේ බද්ද වැඩි කරලා . ඒ විදිහට ඔබ ප්‍රබල දේශපාලකයකුගේ ගජමිතුරෙක් හරි, හෙන්චයියෙක් හරි නොවේ නම්, ඔබට කීයටවත් මේ සීයට විසිපහේ පොලියට ව්‍යාපාර කරලා ලාභ ලබන්න බැහැ. .

රාජ්‍ය ආයෝජන

2023 අයවැයේ තවත් යෝජනාවක් තමයි රජය විසින් කරන ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන එක්දාස් දෙසිය විස්සක් (1220) ලෙස හඳුනාගෙන තිබීම. ඇත්තටම දැන් කලින් අයවැය, මෙපමණම නොවුනත් ඩොලර් බිලියන දහසකට ආසන්න ප්‍රමාණයක් ආයෝජනය කරන බව සඳහන් කළා. . නමුත් ඒක කරගන්න බැරි වුණා. . මොකද ආයෝජනය කරන්න තියා රජයේ කටයුතු පවත්වාගෙන යන්නවත් මුදල් නැති අවස්ථාවක ඩොලර් බිලියන එක්දහස් දෙසිය විස්සක් ආයෝජනය කරනවා කියන කියන්න පුළුවන් නමුත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේ මුදල රජය කොහොමද ආයෝජනය කරන්නේ? මේ වෙලාවේ වර්තන වියදමවත් පියවගන්න අපහසුවෙන් ඉන්න අවස්ථාවක රුපියල් බිලියන එක්දහස් දෙසිය විස්සක් ආයෝජනය කරනවා කියන එක කිසිසේත් ප්‍රායෝගික වෙන්නැහැ..

රජයේ වර්තන වියදම

2023 අයවැයේ පෙන්නුම් කරන ආකාරයට රජයේ වර්තන වියදම රුපියල් බිලියන හාරදහස් හයසිය නවයක් (4609) ලෙස සඳහන් වෙනවා… මේකෙන් රුපියල් බිලියන දාහකට මඳක් වැඩි ප්‍රමාණයක්, රුපියල් බිලියන එක්දාස් දෙකක් (1002) වගේ ප්‍රමාණයක් වැටුප් ගෙවීම් සඳහා වනවා.. ඉතුරු වියදමෙන් රජය අපොහොසත් වෙලා තියෙනවා. රාජ්‍යය වියදම යම් ප්‍රමාණයකින් හරි අඩු කරගන්න. මොකද අපි දන්නවා දැනටත් අපේ රටේ ඇමතිවරු, මන්ත්‍රීවරු වාහන පිරිවරාගෙන, ගමන් කර බොහොම යෙහෙන් වැජඹෙනවා. . ඉතින් රජය අපොහොසත් වෙලා තියෙනවා මේ වියදම යම් ප්‍රමාණයකින් හරි කප්පාදු කරලා යම් පූර්වාදර්ශයක් ලබා දෙන්න ජනතාවට, හැමෝගෙම කැපවීම ප්‍රදර්ශනය කිරීමට.

අපි දකිනවා සමහර ඇමතිවරු මාධ්‍ය සංදර්ශන පවත්වමින් කෝච්චියේ ගිහිල්ලා වොයිස් කට් දීලා රඟ දක්වනවා. හැබැයි මේ රටේ දුක් විඳින මිනිස්සු හැමදාම බස් එකේ යනවා. හැමදාම කෝච්චියේ යනවා, තෙරපි තෙරපි යනවා. හැබැයි එයාලා ගිහිල්ලා මා ධ්‍යයට කතා කරන්නේ නැහැ. අපි අද වැඩට ආවේ බස් එකේ කියලා. මොකද අපි හැමදාම වැඩට යන්නේ බස් එකේ. ඉතින් මේ ඇමතිවරුන්ට මේ හෙංචයියන්ට මාධ්‍ය ය සංදර්ශන පවත්වන කාලයක් නෙවෙයි මේක. සැබැවින්ම තමන්ගේ කැපවීමක් තියෙනවා නම්, ඒ කැපවීම ඉදිරිපත් කරන්න, පෙන්නන්න පුළුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.

නමුත් රජය අපොහොසත් වෙලා තියෙනවා.මේ තමන්ගේ පැත්තෙන් කැපකිරීමක් කරලා, රාජ්‍ය වර්තන වියදම අඩු කරලා, යම් ඉතිරියක් කරගන්න. අපි මේ වෙද්දි දන්නවා ලංකාවේ පුද්ගලයෝ ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් මේ වෙද්දි අලුතෙන් දුප්පත් වෙලා තියෙනවා. හිටපු අයට අමතරව දැන් ලක්ෂ තුනකට (300 000) අධික ප්‍රමාණයක් අලුතෙන් දුප්පත් වෙලා තියෙනවා. .අනිත් පැත්තෙන් විශාල වශයෙන් පුද්ගලයෝ සේවා වියුක්ත වෙනවා. සේවා වියුක්තිය දැන් මේ වෙද්දි තිබුණා වගේ දෙගුණයක් බවට පත්වෙලා තියෙනවා. .

අනිත් පැත්තෙන් මන්ද පෝෂණය අධ්‍යාපනය කඩාගෙන වැටෙනවා. . හැබැයි මේ වලට මේ අයවැයෙන් ලබාදීලා තියෙන පිළිතුර මොකක්ද කියලා නම් මේ අයවැය ලේඛනයෙන් නම් හොයාගන්න බෑ. .

ආරක්ෂණ වියදම, අධ්‍යාපන සහ සෞඛ්‍යය සඳහා වන වියදම්.

දෙදාස් විසි තුන අය වැය ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන හාරසිය දහයක් (410) යෝජනා කරලා තිබෙනවා.. මේ රුපියල් බිලියන හාරසිය දහයෙන් රුපියල් බිලියන තුන්සිය හැටක් (360) වර්තන වියදම් සඳහා, . ඒක අපි පැත්තකින් තියමු. හැබැයි තවත් රුපියල් බිලියන පනහක් (50) හමුදාවන් සඳහා වන ප්‍රාග්ධන වියදම් ලෙස හඳුනාගෙන තිබෙනවා.. මොකක්ද මේ හමුදාවන් සඳහා වන ප්‍රාග්ධනය.? අලුතෙන් ආයුධ මිලදී ගැනීම. ගුවන් යානා මිලදී ගැනීම. නැව් මිලදී ගැනීම. දැන් මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ආරක්ෂක වියදම, වශයෙන් ඩොලර්, රුපියල් බිලියන හාරසිය දහයක් වෙන් කිරීම කොයි තරම් සාධාරණද ? අපි සංසන්දනය කරලා බැලුවොත් අධ්‍යාපනය සඳහා, ලබාදීලා තියෙන්නේ රුපියල් බිලියන දෙසිය තිස් තුනක් පමණයි (233). මෙයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තන වියදම් සඳහා රුපියල් බිලියන එකසිය අසූ හතරකුත් (184), ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන හතළිස් අටකුත් (48) තමයි වෙන්කරලා තියෙන්නේ. දැන් මේ යුද්ධයක් නැති රටේ හමුදාවේ ආයුධ මිලදී ගැනීම් සහ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන පනහක්. මේ අධ්‍යාපනය කඩා වැටෙන රටේ අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන හතලිස් අටයි. සෞඛ්‍යය ගත්තහමත් ඒ වගේම තත්වයක් තියෙන්නේ, සෞඛ්‍යය සඳහා වන වියදම ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන තුන්සිය විසිදෙකක් (322). සෞඛ්‍යය සඳහා වන රෝහල් හැදීම් ආදී සෞඛ්‍යය සඳහා වන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන පනස් පහයි (55). එතකොට මෙතන ලොකුම ප්‍රශ්නය මේ වෙලාවේ මොකද මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන පනහක් වෙන්කරලා තියෙනවා. කිසිසේත් අනුමත කරන්න බැරි දෙයක්. කඩා වැටෙන රටක අධ්‍යාපනයට, සෞඛ්‍යයට වඩා මේ අයවැයේ ප්‍රමුඛතාවය ලැබිලා තියෙන්නේ රටේ ආරක්ෂණ වියදම සහ ආරක්ෂණ ප්‍රාග්ධන වියදම වැඩි කිරීමට.

බදු සහ බදු

මේ දෙදාස් විසි තුන අය වැයේ සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය හැත්තෑ තුනට විසි හතක් (73:27) ලෙස සඳහන් වෙනවා. ඒ කියන්නේ වක්‍ර බදු සීයට හැත්තැ තුනකුත්, සෘජු බදු සීයට විසි හතකුත් ලෙස තමයි රජය බදු ආදායම සංතර්පණය කරන්නේ. එතකොට ගිය වසරේ තිබුන සෘජු බදු අනුපාතය වක්‍ර බදුත් එක්ක ගත්තහම සීයට දහ අටයි සෘජු බදු. නමුත් මේ වෙද්දී විසි හතක් දක්වා වැඩි වෙලා තියනවා. බැලූ බැල්මට පේනවා මේක හොඳ ප්‍රවණතාවයක් කියලා. මොකද ඍජු බදු වල දායකත්වය බදු ආදායම සඳහා වැඩිවෙලා තිබෙනවා.. නමුත් තවමත් අපේ සෘජු බදු මුළු බදු ආදායමට සියයට විසි හතක එහෙම නැත්නම් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තමයි දායක වෙන්නේ. එතකොට අපි කලිනුත් කතා කරා වක්‍ර බද්ධ නිතැතින්ම දුෂ්ටයි. එහි අනිසි ප්‍රතිඵල විශාලයි. වක්‍ර බද්ද අනිවාර්යයෙන්ම උද්ධමනකාරී. වක්‍ර බද්ද අනිවාර්යයෙන්ම ආදායම් විෂමතාවය, දුප්පත්කම වැඩි කරනවා. නමුත් අපේ බදු ආදායම සීයට හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක්. හතරෙන් තුනක්ම තවමත් වක්‍ර බදු. මෙවර අනුපාතය වෙනස් වුණත් ප්‍රමාණය, බදු මුළු ප්‍රමාණය වශයෙන් ගත්තහම සෘජු බදු සහ වක්‍ර බදු දෙකම මේ අයවැයෙන් වැඩි කරලා තිබෙනවා.. මේ බදු වලට අමතරව අපිට නොදැනීම තවත් යම් දෙයක් වැඩි වෙනවා. අපි දන්නවා 2022nගෙනාපු ගැලපුම් අයවැයෙනුත් නව වැට් බදු අනුපාතයන් වැඩි කරනු ලැබුවා. . ඒ අනුපාතයන් එලෙසම වැඩිවෙලා පවතිද්දී 2023 අයවැයෙන් ඉදිරිපත් කරනවා අලුත් ගාස්තු සංශෝධනයක්.

රජය තමන්ගේ බදු නොවන ආදායම සීයට විස්සකින් (20%) වැඩි කරගන්න උත්සාහ කරනවා… අපි දන්නවා රජයේ ආයතන, එතකොට පෙට්රෝලියම් කෝපරේෂන්. මේ ඔක්කොම පාඩු ලබන ආයතන. දැන් මේවා වලින් රජයට ආදායමක් එන්නේ නැහැ. හැබැයි රජය බලාපොරොත්තු වෙනවා බදු නොවන ආදායම සීයට විස්සකින් වැඩි කරගන්න. දැන් කොහොමද මේ රජය බදු නොවන ආදායම වැඩි කරගන්නේ? මේ කරන්නේ ගාස්තු අය කිරීම මගින්. උදාහරණයක් වශයෙන් මේ වෙද්දි අපි තීරුබදු අනුපාතයන් තියෙන්නේ සීයට බින්දුව (0%), සීයට දහය (10%) සහ සීයට පහළව (15%) වශයෙන්. සමහර භාණ්ඩ තීරු බද්ද නිදහස්. ඒවලට සීයට බින්දුවයි. සීයට දහය සහ සීයට පහලව වශයෙන් තමයි අනෙක් භාණ්ඩ සඳහා තීරුබදු තියෙන්නේ. දැන් මේක රජය වෙනස් කරනවා සියයට බින්දුව. ඒ තීරු බද්දෙන් නිදහස් භාණ්ඩ එහෙම තියෙද්දී සියයට දහය අනුපාත සීයට පහළව දක්වාත්, සීයට පහලව අනුපාතය සීයට විස්ස දක්වාත්, සීයට පහකින් වැඩි කරගෙන යනවා. . එතකොට අනිවාර්යෙන්ම මේකෙන් අදහස් වෙනවා අපි ආනයනික භාණ්ඩ වලට ගෙවන බද්ද ආයෙත් වතා වක් සීයට පහකින් පමණ වැඩිවෙනවා කියන එක. ආයේ වතාවක් උද්ධමනකාරී බලපෑම් ආර්ථිකය මත ඇතිවෙනවා. . මේ වෙද්දි දැනටමත් ව්‍යාපාර ආයතන මත වැට් බදු වැඩි කරලා තිබෙනවා. . කලින් වතාවේ අපි 2022 ගැලපුම් අයවැයේ දී ඒක සිද්ධ කරා… එතකොට ඒ සියල්ල මධ්‍යයේ ආයිත් වතාවක් අන්තර් භාණ්ඩ මිල වැඩි වීමට නියමිතයි.

සාමාන්‍යයෙන් මා ආර්ථික විද්‍යාඥයෙක් වශයෙන් සාකච්ඡා වලට ගියහම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කවද්ද මේ ආර්ථික අර්බුදයෙන් අපි නිදහස් වෙන්නේ කියන ප්‍රශ්නය. ඇත්තටම මේකට තියෙන උත්තරේ තමයි කිසිම වෙලාවක ආර්ථික අර්බුදයකින් අපි නිකන්ම නිදහස් වෙන්නෑ. . රටක ආර්ථික අර්බුදයක් ඇති වෙන්නෙත් යම් හේතු. නිසා. දැන් අපේ රටේ නම් ආර්ථික අර්බුදය ඇති වුණේ හොරකම, වංචාව, දූෂණය, මහා පරිමාණ අනවශ්‍යය යටිතල පහසුකම් වලට, මත්තල වරාය, ගුවන් තොටුපල, නෙළුම් කුළුණු හදලා, හෙන්චයියන්, චක් ගෝලයන් පෝෂණය කරලා අපේ ආර්ථිකය බංකොලොත් වුණා. . හැබැයි මේ බංකොලොත් වුණා වගේම දැන් ඒ සඳහා වන්දිය ගෙවන්න වෙන්නෙත් මේ රටේ මිනිස්සුන්ටම තමයි.

ආර්ථිකය නිකංම ස්වෙච්ඡාවෙන්ම ආයෙ බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැහැ.. බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් අපි මේ ණය ස්ථිරසාර මට්ටමට ගේන්න ඕනේ. ඒ ගේන්න නම් එක පැත්තකින් විදේශ ආදායම් ලැබෙන්න ඕනේ. අනිත් පැත්තෙන් දේශීය වශයෙන් ණය තිරසාර වෙන්න ඕනේ. එතකොට නිකන්ම ආර්ථිකය හරියන්නේ නැහැ. ඒ සඳහා අපිට ගොඩාක් කැපකිරීම් කරලා බොහොම දුෂ්කර කාලයක් ගත කරන්න වෙයි.

මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපි වහනයක් ගත්තා කල්බදු (ලිසිං) ක්‍රමයට. දැන් අපි වාරිකය ගෙවාගෙන යනවා. . ඔන්න දැන් අපේ ආදායම අඩු වෙලා අපි බංකොලොත් භාවයට පත් වෙනවා. කියලා හිතමුකෝ. . දැන් අපි මේ බංකොලොත් වෙලා ඉද්දි අපි ණය වාරිකය ගෙවන එක නවත්තනවා. . අපිට ගෙවා ගන්න බෑ.. හැබැයි මේ වාරිකය අද ගෙවන එක නැවැත්තුවා නම් හෙට ඔබේ වාහනය අරගෙන යන්නේ නැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.. මේ කාලය පුරා. අපි වාහනයක් පාවිච්චි කරනවා. හැබැයි අපි වාරිකය ගෙවන්නෙත් නෑ.. මේකට තමයි අපි අර සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ කියන්නේ මේ අපායේ ඉන්ටවල් එක කියලා. . මොකද අපි දැන් සාමාන්‍යයෙන් මාසිකව ගෙවන ඩොලර් මිලියන හයසීයක පමණ ණය වාරිකය දැන් අපි ගෙවන් නැහැ . දැන් අපි බංකොලොත් නිසා. . හැබැයි පෝලිම් නැහැ, පෙට්රල් පෝලිම් නැහැ කියලා අපි උදම් අනමින් ඉන්නවා.. දැන් මේ යන්නේ අපායේ ඉන්ටවල් එක. කොයි වෙලාවක හරි අර ආයතනය අපිට විරුද්ධව නඩු පවරලා, අපේ වාහනය සීස් කරනවා වගේ, දැන් අපි කොයි වෙලාවක හරි මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ආපහු ගෙවන්න පටන් ගන්න ඕනේ. එහෙම ගෙවන තාක් කල් අපිට ආයේ ණය ගන්න බැහැ. එතකොට මේ ලැබිලා තියෙන්නේ අපායේ ඉන්ටවල් එක. අපි ඒ ගැන උදම් අනනවා නම්, අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවා කියලා, ඊටත් වඩා මුලා වීමක් තවත් නැහැ.

මේ අයවැය කතාව බැලුවහම, ඉංග්‍රීසි බසින් කරපු අයවැය කතාවේ මං දකිනවා Expect කියන වචනය එහෙම නැත්තං “අපේක්ෂා කරනවා “ කියන වචනය අවම වශයෙන් දහ අට වතාවක්වත් භාවිත වෙනවා.. මේ අය වැය විශාල අපේක්ෂා වලින් සමන්විතයි. අයවැය අපේක්ෂා කරනවා උද්ධමනය අඩු වෙයි කියලා. අයවැය අපේක්ෂා කරනවා. පොළී අනුපාතය අඩු වෙයි කියලා. . අයවැය අපේක්ෂා කරනවා. රට බංකොලොත් භාවයෙන් මිදෙයි කියලා.. හැබැයි අපේක්ෂා, නැත්නම් අපි මේ කියන වලින් පමණක් කිසිසේත් ආර්ථිකයක් ගොඩ දාන්න බැහැ. . ආර්ථිකයක් ගොඩ දාන්න නම් ඒකට අවශ්‍යය කැපවීම තියෙන්න ඕනේ. ඒකට අවශ්‍යය ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ඒකට අවශ්‍යය ක්‍රියාමාර්ගයන් ගන්න ඕනේ. මිසක් අපි ප්‍රාර්ථනා කරාට කවදාවත් ආර්ථිකයක් බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැහැ. . අවසාන වශයෙන් මං අවධාරණය කරන්න කැමතියි මේ ආර්ථිකය, බංකොලොත්භාවයට ගේන්න දායක වෙච්චි ආර්ථික ඝාතකයන්ට විරුද්ධව වර්තමාන රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවද? එහෙම නැත්නම් මේ ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදවන්න මේ රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? රටේ ඉදිරියටත් වංචා, දූෂණ සිදුවෙන එක වළක්වන්න මේ රජය ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?

ආචාර්ය (නිතිඥ) ශානුක සෙනරත්

[email protected]