අමෙරිකාවට කළ කම් ඵල ‌‌දෙයි

Picture of අසංක

අසංක

අමෙරිකාවේ සිදුවූ වෙඩි ප්‍රහාර දෙකත් සමග එරට සංචාරයට අනතුරු  ඇගවීම් නිකුත් කිරීමට රටවල් කිහිපයක් කටයුතු කර තිබේ.

ඒ අනුව අමෙරිකාවේ නේවාසිකව සිටින තම පුරවැසියන්ට හා අමෙරිකාවේ සංචාරයට අපේක්ෂා කරන පුද්ගලයන්ට ‘වෙඩි තැබීමේ සිද්ධීන් පිළිබද අවධානයෙන් සිටින ලෙස’ සංචාරක අනතුරු ඇගවීමක් කිරීමට වෙනිසියුලාව, උරුගුවේ හා ජපානය කටයුතු කර ඇත.

එකම දිනක පැය කිහිපයක් තුළ ටෙක්සාස් හා ඩේටන්හි සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්විය.

මේ සමගම ඒරට තුළ තිබෙන ‘අවිආයුධ සන්නද්ධ සමාජය’ පිළිබද අදාළ රටවල් අනතුරු  ඇගවීම් නිකුත් කර තිබේ.

2016 පමණ සිට මෙක්සිකෝව, ජර්මනිය, අයර්ලන්තය, කැනඩාව හා නවසීලන්තය විසින් අමෙරිකාවේ සංචාරය සදහා අනතුරු  ඇගවීම් නිකුත් කිරීම සිදුකෙරුණි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශයන්හි වෙසෙන තම පුරවැසියන්ට නිරන්තරයෙන් සංචාරක අනතුරු  ඇගවීම් නිකුත් කරනු ලබයි.

ත්‍රස්තවාදය හෝ නොපනත්කම් බහුල යැයි සදහන් කරමින් විවිධ සිද්ධීන් අලලා අමෙරිකාව විසින් නිරන්තරයෙන් සංචාරක අනතුරු ඇගවීම් කරනු ලබයි.

 අමෙරිකාව පිළිබද සෙසු රටවල් ද සංචාරක අනතුරු  ඇගවීම් කර ඇත්තේ එවන් පසුබිමක දීය.

පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබද අනතුරු  ඇගවීම් නිකුත් කළ අමෙරිකාව, මේ දිනවල පැවැත්වෙන  ඇසළ පෙරහරට සහභාගි වන සංචාරකයන්ට ද තරමක අනතුරු  ඇගවීමක් කර තිබුණි.

ඇතැම් රටවල් චෝදනා කරන්නේ ‘අවි ආයුධ සන්නද්ධ සිවිල් සමාජයක්’ සහිත අමෙරිකාව තම රටෙහි නීතිය ස්ථාපිත නොකොට සෙසු රටවල ආරක්ෂාව ගැන අනවශ්‍ය ඇගිලි ගැසීම් මෙන්ම අනවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන බවයි.

කෙසේවෙතත් අමෙරිකාවේ ජාතික ගමනාගමන හා සංචාරක කාර්යාලයේ දත්තවලට අනුව 2016 වසරේ සිට අමෙරිකාවට පැමිණෙන විදේශ සංචාරකයන් විශාල ලෙස අඩුවෙමින් පවතී.

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේදී අමෙරිකාවට ලොව පුරා සංචාරකයන්ගේ පැමිණීම 2.2%කින් පහත බැස තිබේ.