සිල්රෙදි නඩුවේ අභියාචනයට දින තීන්දු වෙයි

Picture of අසංක

අසංක

තමන්ට සිරදඩුවම් නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම් ලබන මාර්තු 8 වැනිදා සිට විභාග කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය.

අදාළ අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා ඉදිරියේ අද කැදවනු ලැබිණි.

ඉකුත් 2015 ජනාධිපතිවරණ සමයේදී දිවයින පුරා විහාරස්ථානවලට සිල්රෙදි බෙදාහැරීම තුළින් රුපියල් මිලියන 650ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම නඩුවේ තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට වසර 3 බැගින් සිරදඩුවම් සහ දඩමුදල් නියම කළේය.

එම තීන්දුව අහෝසි කර තමන් සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් අදාළ අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඉෂාර රත්නකාර