මීගමුවට සෞඛ්‍යරක්ෂිත නව මල අපවහණ පද්ධතියක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මීගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මලාපවාහන ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී හා ක්‍රියාත්මක කිරිමේ දී පරිසරයට කිසිදු හානියක් හෝ මහ ඔය සහ ප්‍රදේශයේ මුහුදු ජලය දූෂණය වීමක් සිදු නොවන ආකාරයටත් සිව් පා සතුන්ට හානියක් නොවන ආකාරයටත් වග බලා ගත යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ වැඩසටහන යටතේ මීගමුවේ ඉදිකිරිමට යෝජිත මලාපවාහන පද්ධතියේ ශක්‍යතා වාර්තාව පිළිබඳව උසස් මට්ටමේ සාකච්ඡාවක් එම අමාතයාංශයේ ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කෙළ්ය.

මෙම මලාපවාහන ව්‍යාපෘතියේ මූලික  කටයුතු  පසුගිය 2018 ජූනි මාසයේ ආරම්භ කළ ද  මේ වන විට සෙකෝ ඩෙන්මාර්ක්,කැබිනට් මර්ලිං ප්‍රංශ ග්‍රීන්ටෙක් යන ආයතනයන්  ඒකාබද්ධව මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදි.මෙම ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය මගින් ආයෝජනය කරනු ඇත.

මේ සඳහා යුරෝ මිලියන107.5ක් අවශ්‍ය වන බව ඇස්තමේන්තු කර ඇති අතර 2022දී  මෙම ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කිරීමට සැලසුම් කර ඇත.පළමු අදියර සම්පූර්ණ වන විට මීගමුව ප්‍රදේශයේ 73,000ක ජනතාවට සෙත සැලසෙන අතර 2050 වන විට සංචාරකයන් ඇතුළුව එක්ලක්ෂ අනූදහසක (190000) ජනතාවට සේවාව ලබා දීමට හැකි ආකාරයට මූලික සැලසුම් සකස් කර ඇත.

මෙම නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ වැඩසටහනේ මුල් අදියර යටතේ ගාල්ල,උනවටුන,කැලණිය,පෑලියගොඩ යන ප්‍රදේශ හතර සඳහා ද මලාපවාහන පද්ධති නිර්මාණය කිරීම සිදුකරමින් පවතින අතර මේ ව්‍යාපෘතිවලට ද මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය දැනටමත් එකඟතාවය පළ කර ඇත.

මෙම ශක්‍යතා වාර්තාව ඉදිරිපත් කිරීමේ සාකච්ඡාවට කගර සැලසුම්,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ,ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර,උපදේශක ආනතන නියෝජිතයෝ සහ මීගමුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජිතයෝ ද සහභාගී වූහ.