ශ්‍රී ලංකාවේ 2018 වසරේ සිදු වූ මාරාන්තික ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ෆේස්බුක් සමාගමේ ක්‍රියාමාර්ග තුළ වූ අඩුපාඩු ද හේතුවූ බවට පිළිගනිමින් ෆේස්බුක් සමාගම සමාව අයැද තිබේ.
ඒ එම ප්‍රචණ්ඩකාරී තත්වයට සහාය වන ෆේස්බුක් සමාජජාල අවභාවිත සිද්ධීන් සඳහා ෆේස්බුක් ආයතනය විසින් බරපතළ ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවී ඇති බවට ඒ පිළිබද ජාත්‍යන්තර වශයෙන් කළ ස්වාධීන විමර්ශන වාර්තාවක් ඊයේ නිකුත්වීමත් සමගයි.
ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාවේ සහ කාම්බෝජයේ මානව හිමිකම් කෙරෙහි ෆේස්බුක් සමාජ ජාල බලපෑම පිළිබඳ වෙනත් ස්වාධීන තක්සේරු කිරීම් සමඟ එම සමාගම විසින් සොයාගැනීම්වල සාරාංශයක් ඊයේ නිකුත් කරන ලදී.
ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාව පිළිබද වන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “අපගේ සමාජ ජාලය මෙලෙස අනිසි භාවිතය අප විසින් හෙළා දකිමු. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සැබෑ මානව හිමිකම් බලපෑම් අපි හඳුනාගෙන සමාව අයදිමු.” යනුවෙනි.
දේශීය භාෂා කුසලතා ඇති අන්තර්ගත උපපරිපාලකවරු බඳවා ගැනීම, වෛරී කථන සලකුණු ස්වයංක්‍රීයව හඳුනාගන්නා තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීම, අසභ්‍ය අන්තර්ගතයන් පැතිරීම වළක්වා ගැනීම, ප්‍රාදේශීය සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සබඳතා ගැඹුරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු ගැටලු විසඳීම සඳහා ෆේස්බුක් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද මෙම වාර්තාව මගින් පවසා ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ මෙරට තුළ සිටින කණ්ඩායම් අනිසි ලෙස ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කිරීම පිළිබඳ දශකයකට ආසන්න අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට එම සමාගම අපොහොසත් වී ඇති බවයි. සිංහල-බෞද්ධ මිනිසුන්ගේ ආහාරවලට “විෂ පෙති” මිශ්‍ර කළ බව පිළිගන්නා මුස්ලිම් ආපනශාලාවක් පෙන්වීමට 2018 දී වෛරස් වීඩියෝවක් ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීම, නොසන්සුන්තාවයට හා ශාරීරික හානිවලට හේතු වන්නට ඇති බවට ද එම වාර්තාවේ දැක්වේ.