පොලිස් කොල්ල කල්ලියක නිලධාරීන් 2ක් අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

වරකාපොළ පොලිස් වසමේ අල්ගම ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට වසා තිබියදී රහසිගතව පවත්වාගෙන ගිය බූරු පොළකට කඩා වැදී මුදල් කොල්ලකෑ පොලිස් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එක් අයෙක් ගම්පහ පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන්වරයෙක් බවත් අනෙත් සැකකරු පොලිස් රෝහලේ රියදුරෙකි.

ඊට සම්බන්ධ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

අල්ගම බූරු පොළට මෙම පොලිස් කණ්ඩායම කඩාවදින විට පිරිසක් පළාගොස් ඇත.

එහිදී 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අයගේ දෑත් බැද පොලිස් කණ්ඩායම ගමන් කළ වෑන් රථයට නංවාගෙන තිබේ.

එම අවස්ථාවේදී බූරු පිටියේ ඔට්ටු ඇල්ලීමට දමා තිබුණු රුපියල් ලක්ෂ 06 කට අධික මුදලක් සහ ලක්ෂ 02 ක් පමණ වටිනා ජංගම දුරකතනයක්ද ලබාගෙන පොලීසිට රැගෙන එන ආකාරයට ඔවුන්ව රැගෙන විත් ඇත.

අතරමඟදී එකිනෙකා බස්සවා මුදල් හා ජංගම දුරකතනය රැගෙන පොලිස් කණ්ඩායම පළාගොස් තිබේ.

මෙම පොලිස් කණ්ඩායම ගමන් කර ඇත්තේ කෑගල්ල දෙසටය.

මේ පිළිබඳ බූරු පොළේදී පොලිස් කණ්ඩායමේ අත්අඩංගුවට පත්වුණු පුද්ගලයෙක් වරකපොළ පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව විමර්ශන ආරම්භ වී තිබුණි.

මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි කණ්ඩායමක් විසින් මෙම කොල්ලය කර ඇති බවය.

ඒ අනුව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දීර්ඝ විමර්ශනයකින් පසුවයි.