මෙරට තුළ වැඩකරන චීන ජාතිකයන්ට හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් එපා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

-ආරක්ෂක ලේකම් චීන තානාපතිට දන්වයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ ව්‍යාපෘතිවල යෙදී සිටින චීන ජාතික සේවකයන්ට හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් භාවිතයෙන් වළකින ලෙස අදාළ ආයතන දැනුවත් කරන්නැයි ආරක්ෂක ලේකම්  ජෙනරාල්  (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා චීන තානාපති කාර්යාලය  වෙත  දැනුම් දී තිබේ.

ආරක්ෂක  අමාත්‍යාංශය පැවසුවේ තිස්ස වැවේ  රොන්මඩ  ඉවත් කිරීමේ  කටයුතුවල නිරත චීන සමාගමකට අයත් සේවකයන් පිරිසක් ඇඳ සිටි  හමුදා නිල ඇදුමට සමාන ඇඳුම අදාල විදේශ සමාගමේ සේවකයන් භාවිතා කරන ඇඳුමක් බවය.

මෙරට තුළ සමාජ මාධ්‍යයේ සහ සිවිල් සංවිධානවල දැඩි විවේචනයට තූඩු දුන් එම ඇඳුම ඇතැමූන් හඳුන්වා තිබුණේ චීන හමුදාවේ සෙබළුන් මෙහි පැමිණ සිටින අයුරිනි.

එහෙත් එම සේවකයන්  මහජන චීන විමුක්ති  හමුදාවට අයත් නොවන බවත්  චීන  තානාපති කාර්යාලය සනාථ කළ බව ආරක්ෂක  අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම්  ජෙනරාල්  (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා   මේ සම්බන්ධයෙන්  ශි‍්‍ර ලංකා චීන තානාපති  කාර්යාලයෙන් කළ විමසුමකදී මේ  බව සනාථ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.