තරුණ විරැකියාව 30%ක් දක්වා ඉහළ යා හැකියි – තරුණ කටයුතු ඇමති

Picture of අසංක

අසංක

ගෝලීයව පවතින තත්ත්වය මත තරුණ විරැකියාව 30% ක් දක්වා ඉහළ යා හැකි බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තරුණ විරැකියාව, 2014 වසරේ දී 4%ක් දක්වා පහතට පැමිණිය ද 2019 වන විට එය 16% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

උපාධිය තුළින් නිපුණතා පිරි තරුණයෙකු බිහි විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

තරුණ පරපුර නව තාක්ෂණය සමඟ මුසු ව නූතනත්වය කරා ගමන් කරමින් සිටියි.

මෙහිදී ලෝකය හා එක් ව හැඩගැසීම වැදගත් බවත්, අවසානයේ දී ජයගත යුත්තේ ජීවිතය මිස අඛණ්ඩව රැගෙන ආ පුරුදු නො වන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබිණ.

උපාධි ලාභියෙකුගේ අපේක්ෂාව හොඳ රැකියාවක් වුව ද, කිසිදු රැකියාවකට ඇතැම් උපාධි පාඨමාලා නොගැළපීම නිවැරදි කිරීම වර්තමානය සතු වගකීමක් බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම – 2021” ට සමගාමීව අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණු අවස්ථාවේදී අමාත්‍යවරු මේ බව පැවැසූහ.