දම්පත් රණසිංහ
මේ වන විට සීනි හිගයක් ඇති වෙමින් මිල ඉහළ යන්නේ සීනී ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් බැංකුවලින් නිකුත් නොකරන බැවින් යැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට පෙන්වා දී තිබේ.
ඒ පෙරේදා පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීය.
එම සංගමය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සීනි ආනයනයට ප්‍රමාණවත් ඩොලර් බැංකුවලට මුදා හරින්නැයි දැනුම් දීමක් කරන ලෙසය.
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ඇමතිවරයාට පෙන්වා දී ඇත්තේ , එසේ කිරීමෙන් සීනි ආනයනය විධිමත් කර පාලන මිලට දීමට හැකියාව පවතින බවය.
සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122 ක් බවටත් රතු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 ක් බවටත් පාලන මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇතත් ඒ මිලට මේ වන විට වෙළද පොලේ සීනි මිලදී ගැනීමට නැත. සිල්ලර වෙළද පොලේ සීනි කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 160 ට ඉහළිනි.