මහ වැස්සට 12ක් බිලි

Picture of Roshan

Roshan

* දිස්ත්‍රික් 17කට බලපෑම්
* 30000ක් පීඩාවට

දම්පත් රණසිංහ

මේ වන විට දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (09) පස්වරුව වන විට 12 දෙනෙක් මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

ගෙවී ගිය පැය 24 තුළ පමණක් සිදුව ඇති මරණ ගණන 05 කි. මරණ 04 ක්ම සිදුව ඇත්තේ නායයාම්වලිනි.

සෙසු මරණය වාර්තා වී ඇත්තේ කෑගල්ල කෝඳාපාලුව ප්‍රදේශයෙනි. ඒ මා ඔයේ ඔරු පැදීමට ගිය 18 හැවිරිදි තරුණයෙකි.

රඹුක්කන දොඹේමඩ නිවසකට ඊයේ අළුයම පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ ජීවත්වූ මවක් සහ දියණිවරු දෙදෙනෙක් මිය ගියේය. මව 36 වියැති තැනැත්තියක් වන අතර දරුවන් දෙදෙනා 13 වැනි වියේ සහ 08 වැනි වියේ පසුවන්නන්ය.

එම පවුලේ ගෘහමූලිකයා වන දරුවන්ගේ පියාද මෙම අනතුරින් තුවාල ලබා කෑගල්ල රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

නාරම්මලද නිවසක් මත පස්කන්දක් කඩා වැටීමෙන් කොළඹ පුද්ගලික රෝහලක හෙදියක් මිය ගියාය. ඇය 23 වැනි වියැතිය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 17 ක ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 93 ක පුද්ගලයින් 28,263 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට පීඩාවට පතව සිටින බවය.

සුළං, ගල් පෙරළීමෙන් සහ පස්කදු කඩාවැටීමෙන් නිවාස 13 කට පූර්ණ හානි සහ නිවාස 802 කට අර්ධ හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.