රු.මිලියන 3100ක් දී අක්‍රිය විදුලි ජනක යන්ත්‍ර මිලට ගත්තේ ඇයිදැයි ලංවිමෙන් වාර්තාවක් කැඳවයි

Picture of අසංක

අසංක

රුපියල් මිලියන 3100 ක් වැය කොට මිලදීගත් විදුලි ජනක යන්ත්‍ර 50 ක් මිලදී ගන්නා විටම ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතීම පිළිබඳව වාර්තාවක් සති 2 ක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කෝප් කමිටුව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් විය.

එම අවස්ථාවේදී 2018, 2019 කාලසීමාවට අදාළව සිදුවූ මෙම සිදුවීම පිළිබඳ අවධානය යොමුවී ඇත.

කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙම ජනක යන්ත්‍ර 50 මිලදී ගන්නා විට ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතී ඇති බවයි.

මේ නිසා මෙම මිලදී ගැනීම් වලදී තත්ත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න සහ මේ සඳහා වියදම් වූ මිල පිළිබඳව ඔවුන් විසින් විමසන ලදී.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මිලදී ගැනීම්වලදී නිලධාරීන් පරීක්ෂාවක් සිදු කොට ඇති බවත් එම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3100 ක් වැයවූ බවත් ය.

අද වන විට මෙම ජනක යන්ත්‍ර 50 ම ක්‍රියාකාරීව පවතින බවත් ඔවුහු දැන්වූහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්‍රීවරු සඳහන් කළේ මෙම ජනක යන්ත්‍ර මුල්කාලීනව ක්‍රියාත්මක නොවූ බවත් නවීකරණය කිරීමෙන් පසු ක්‍රියාත්මක වන බවත්ය.

ඒ අනුව කුමන ආණ්ඩු කාලසීමාවක මිලදී ගත්තද ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින ජනක යන්ත්‍ර මිලදී ගැනීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අවධාරණය කරමින් අදාළ වාර්තාව කැඳවීමට කෝප් කමිටුව පියවර ගෙන ඇත.