සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිලට එක්වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. සියයට 2යි දශම 5ක් වන එම බද්ද රජය විසින් පනවනු ලැබුවේ මේ මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව මෙම මස පළමුවනදා සිට ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය මිලදී ගන්නා සියලු පාර්ශ්වයන්ගේ විදුලිය මිලදී ගැනීම මත එම බද්ද අය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ.
මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කළ බැවින් විදුලි පරිභෝජනය අදාළ බද්දෙන් නිදහස් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.
කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අදාළ බද්දට යටත් වන බව මුදල් අමාත්‍යාංශය විසින් දන්වා ඇති බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.