ගාසා සටන් විරාමය , තාවකාලික පැලැස්තරයක්ද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න



ගාසා තීරය සඳහා වන කරුණු 20කින් යුත් සිය සටන් විරාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද මූලික ගිවිසුම යටතේ, ඉතිරි සියලු ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ සිය ගණනක් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම, ඊශ්‍රායල් හමුදා ඉවත් කර ගැනීමට සහ ගාසා තීරයට ආධාර යැවීමට ඉඩ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පියවරයන් සඳහා අදාළ විස්තර සහ කාල පරාසය මෙතෙක් පැහැදිලි නොමැත.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානයේ ප්‍රහාරයට ඉකුත් අඟහරුවාදා දිනයට වසර දෙකක් සපිරුණු අතර එම ප්‍රහාරයෙන්, ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.

මෙම එකඟතාව ආරම්භක අදියරක් පමණක් වන අතර, ගාසා තීරයේ ඊළඟට සිදුවන්නේ කුමක් ද? යන්න පිළිබඳ බොහෝ තොරතුරු තවමත් සකස් කළ යුතුව ඇත.


ට්‍රම්ප්ගේ සැලැස්ම මගින් යෝජනා කරන්නේ, ගාසා තීරය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් සහ සභාපතිත්වයෙන් යුත් “සාම මණ්ඩලයක්” විසින් අධීක්ෂණය කරනු ලබන සහ හිටපු එක්සත් රාජධානියේ අගමැති ටෝනි බ්ලෙයාර් සම්බන්ධ වන, පලස්තීන විද්වතුන්ගෙන් සමන්විත තාවකාලික අන්තර්වාර කමිටුවක් මගින් පාලනය කරනු ඇති බවයි.

ට්‍රම්ප්ගේ කණ්ඩායම විසින් නිකුත් කරන ලද සැලැස්මේ පාඨයකට අනුව, පලස්තීන පාලන අධිකාරිය “එහි ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්පූර්ණ කළ” පසු, ගාසා තීරයේ පාලනය අවසානයේ පලස්තීන අධිකාරියට භාර දෙනු ඇත.

අනාගතයේදී ගාසා තීරයේ පාලනය තුළ හමාස් සංවිධානයට ඍජුව හෝ වක්‍රව කිසිදු ආකාරයක කාර්යභාරයක් පැවරෙන්නේ නැත.

සාමකාමී සහජීවනයකට කැපවී සිටින්නේ නම් හෝ වෙනත් රටකට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සැලසෙන්නේ නම් හමාස් සාමාජිකයින්ට පොදු සමාවක් ලබා දෙන බව සැලැස්මේ සඳහන් වේ.


ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ සටන් විරාමය මේවන විට බලාත්මක වන බවයි.

ඊශ්‍රායල කැබිනට් අනුමැතියෙන් පැය 24ක් ඇතුළත සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව ඊශ්‍රායල රජයේ ප්‍රකාශිකාවක් බ්‍රහස්පතින්දා පැවසුවා ය.

ලන්ඩනයේ විදේශ සබඳතා පිළිබඳ යුරෝපීය කවුන්සිලයේ (ECFR) බුද්ධි මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සහකාර හියු ලොවට් පවසන්නේ, සරල ම වචනවලින් කිවහොත්, ගාසා වැසියන්ට සටන් විරාම ගිවිසුමක් යනු “තවදුරටත් තම ජීවිත ගැන බිය වන්නට දෙයක් නොමැති තත්ත්වයක්” බව ය.

“ඝාතනය නොකිරීම, අවතැන් නොවීම සහ කුසගින්නේ නොසිටීම යන කරුණු තුන ගාසා වැසියන්ට මේ මොහොතේ අවශ්‍ය වැදගත් ම නිර්ණායක තුන,” ඔහු බීබීසී ප්‍රවෘත්ති වෙත පැවසීය.

“පෞද්ගලික ආරක්ෂාව තහවුරු වෙලා මිනිසුන් තම නිවාසවලට ආපසු ගියා ම, ඔවුන්ට තම ජීවිත නැවත ගොඩනඟා ගන්නේ කොහාම ද කියන එක ගැන අවධානය යොමු කරන්න පුළුවන්,” ලොවට් පවසයි.

ඇත්ත වශයෙන් ම, ගාසා තීරයේ ජනතාව මෙම ප්‍රවෘත්තිය ඇසීමෙන් ප්‍රීති වෙති.

ගාසා තීරයේ පදිංචිකරුවෙකු වන ජුමා රාමදාන් අබු අමෝ බීබීසී අරාබි පුවත් සේවයට මෙසේ පැවසුවා ය: “මං මුලින් ම කරන්නේ මගේ සීයාගෙයි සහ ආච්චිගේ මළ සිරුරු හොයා ගන්න අපේ ගෙදර සුන්බුන් ඉවත් කරන්න පටන් ගන්න එක.”

“ඊට පස්සේ, අපි අපේ ගේ නැවත හදා ගන්න පටන් ගන්නවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන්, අපි මුළු ගාසා තීරය ම නැවත ගොඩනගනවා, ඒක කලින්ට වඩා හොඳින් සිද්ධ වේවි.”

ඔක්තෝබර් 7 ප්‍රහාරයන්ට ඊශ්‍රායලය දක්වන ලද මිලිටරි ප්‍රතිචාරය හේතුවෙන් ගාසා තීරයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් බොහොමයක් විනාශයට පත්ව ඇත.

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, යුද්ධයෙන් පලස්තීනුවන් 67,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන් වන අතර – ළමුන් 18,000කට වැඩි පිරිසක් ද ඊට ඇතුළත් ය.

එහි සංඛ්‍යා ලේඛන සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන විසින් විශ්වාසදායක ලෙස සලකනු ලැබ ඇත.


ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සැලැස්ම යටතේ ගාසා තීරයට “පූර්ණ වශයෙන් ආධාර” වහා ම යැවීමට ඉඩ දීම ඇතුළත් වේ, අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ සහය ලත් විශේෂඥයින් විසින් ගාසාහි සාගතයක් ඇතැයි තහවුරු කරන ලදී.

සැලැස්මේ සඳහන් වන්නේ, එම ප්‍රමාණය “මානුෂීය ආධාර සම්බන්ධයෙන් 2025 ජනවාරි 19 වන දින ගිවිසුමට ඇතුළත් කර ඇති දේට අනුකූල විය යුතු” බව ය.

රොයිටර් පුවත් සේවය ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් කියා සිටියේ, දිනකට ලොරි 600ක් බෙදා හරින බව ය. පලස්තීන මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ, මුලින් දිනකට අවම වශයෙන් ලොරි 400ක් බෙදා හරින බවත්, ඉන් පසුව එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වනු ඇති බවත් ය.

කෙසේ වෙතත්, ගාසා තීරයේ ජනතාව වෙත ආධාර ලබා දීම සඳහා කීර්තිමත් ජාත්‍යන්තර ආධාර ආයතනවලට ආරක්ෂිත යැයි හැඟෙන ආරක්ෂිත පරිසරයක් තිබිය යුතු බව ලොවට් අවධාරණය කළේ ය.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මීට පෙර ආහාර බෙදා හැරීමේ ක්‍රමය ප්‍රතිස්ථාපනය කළ මතභේදාත්මක ගාසා මානුෂීය පදනමට (GHF) කුමක් සිදුවේ ද යන්න ට්‍රම්ප්ගේ සැලැස්මේ නිශ්චිතව දක්වා නොමැත.

“පසුගිය සටන් විරාමය බිඳවැටීමෙන් පස්සේ ආධාර ස්ථාන ආශ්‍රිත ආරක්ෂක පරිසරය සැලකිය යුතු ලෙස පිරිහී ගොස් ඇති බව අපි ඉතා පැහැදිලිව දැනගත යුතු යි,” යනුවෙන් ලොවට් බීබීසීයට පැවසීය.

එකඟතාව දිගට ම පවතීවි ද?
යුද්ධය ආරම්භ වී වසර දෙකකට පසු දෙපාර්ශ්වය ම අත්කර ගත් ඉහළ ම ප්‍රගතිය වන්නේ මෙම ගිවිසුම යි.

නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සාම සැලැස්ම සැබවින් ම මූලික රාමුවක් පමණක් වන අතර එය පිටු කිහිපයකින් යුත් ලියවිල්ලක් පමණක් බව ජෙරුසලමේ බීබීසී වාර්තාකරු ටොම් බෙනට් පෙන්වා දෙයි.

දෙපාර්ශ්වයට ම විසඳා ගත යුතු ප්‍රධාන ගැටලු තවමත් පවතින බව ඔහු පවසයි.

හමාස් සංවිධානය නිරායුධ කළ යුතු බවට ඊශ්‍රායලයෙන් කරන ප්‍රධාන ඉල්ලීම මෙන් ම ඊශ්‍රායලයේ ඉවත්වීමේ ප්‍රමාණය සහ ගාසා තීරය පාලනය කරන්නේ කවුරුන් ද? යන්න පිළිබඳ සැලැස්මක් ද ඊට ඇතුළත් ය.

ට්‍රම්ප්ගේ සැලැස්මේ පළමු අදියර ක්‍රියාත්මක කළ හැකි යැයි තමා සිතන නමුත්, ඉන් පසුව සිදුවන දේ එතරම් නිශ්චිත නොවන බව ලොවට් බීබීසීයට පැවසීය, ඒ, බොහෝදුරට ඊශ්‍රායලයේ “රතු ඉරි සීමා” තරණය කළ නොහැකි බැවිනි.

“ධවල මන්දිරය සමග පැවති මාධ්‍ය හමුවෙන් පසුව නෙතන්යාහු පැවසුවේ, ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමක් සිදු නොවන බවත්, පලස්තීන රාජ්‍යයක් නොමැති බවත්” ය.

“ඊශ්‍රායලය වඩාත් ක්ෂණිකව ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් නොවන්නේ නම්, සැලැස්මට පලස්තීන කැපවීම පවත්වා ගැනීම දුෂ්කර වනු ඇති බැවින්, සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මේවා පැහැදිලිව ම විශාල බාධක දෙකක් වනු ඇතැයි” ඔහු තවදුරටත් පැවසීය.

ට්‍රම්ප් සම්බන්ධ වී ඇත්තේ කොහොම ද?
මෙම සාම ප්‍රයත්නවල ප්‍රධාන වෙනස වී ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික මැදිහත්වීම වන අතර, ඔහු හමාස් සංවිධානයට පමණක් නොව, ඊශ්‍රායලයට ද ගිවිසුමක් සඳහා බලපෑම් කර ඇති බව ජෙරුසලමේ බීබීසී වාර්තාකරු හියුගෝ බචෙගා පවසයි.

මෙම එකඟතාව සාර්ථකව නිම කිරීම ජනාධිපති ට්‍රම්ප් මේ දක්වා විදේශ ප්‍රතිපත්තිමය වශයෙන් ලැබූ විශාලතම ජයග්‍රහණය වනු ඇත. අද (ඔක්තෝබර් 10 වන සිකුරාදා) ප්‍රදානය කිරීමට නියමිත ලොව පිළිගත් සම්මානවලින් එකක් වන නොබෙල් සාම ත්‍යාගය, ඔහුගේ උත්සහය වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වන බව රහසක් නොවනු ඇත.

“ඊශ්‍රායලය හෝ මැද පෙරදිග රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී, විශේෂයෙන් ඊශ්‍රායල-පලස්තීන රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී එක්සත් ජනපදයට සැමවිට ම ඉතා තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති අතර, අවම වශයෙන් න්‍යායාත්මකව – ඊශ්‍රායලය කෙරෙහි භාවිතා කළ හැකි අසමසම ලීවරයක් ඇත. දේශීය දේශපාලනය සහ ස්ථානගත කිරීම නිසා ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් හොඳ තැනක සිටින බව මං හිතනවා,” ලොවට් පවසයි.

ඉදිරි දිනවලදී ට්‍රම්ප් ඊජිප්තුවට යාමට නියමිත අතර, ඔහුගේ සාකච්ඡාකරුවන් එහි ගිවිසුමක් සඳහා කටයුතු කරමින් සිටී. සිකුරාදා ඔහු එම කලාපයට යාමට සැලසුම් කරමින් සිටින බව ධවල මන්දිරය පැවසීය.