මාර්ක් සකර්බර්ග් 2014 තරම් ඈත කාලයකදී හවායි දූපතක් වන කුවායිහි අක්කර 1,400ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති කුවලෝ රෑන්ච්හි (Koolau Ranch) වැඩ ආරම්භ කළ බව පැවසේ.
වයර්ඩ් (Wired) සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව, එයට තමන්ගේ ම ආහාර සහ බලශක්ති ප්‍රභවයන් සහිත නිවස්නයක් ඇතුළත් කිරීමට නියමිතව තිබුණු අතර ගිවිසුම් මගින් ඒ පිළිබඳව හෙළිදරව් කිරීම එම ස්ථානයේ වැඩ කළ වඩු කාර්මිකයන්ට සහ විදුලි කාර්මිකයන්ට තහනම් කර තිබිණි.
අඩි හයක් උසැති තාප්පය සමීපයේ ඇති මාර්ගයක සිට හෝ එහි ඉදි කිරීම් කටයුතු දැක ගැනීම අවහිර කළේ ය.

ලෝක විනාශයෙන් ආරක්ෂා වීමට බංකරයක් නිර්මාණය කරන්නේ දැයි ඉකුත් වසරේ විමසූ විට ෆේස්බුක් නිර්මාතෘවරයා “නැත” යනුවෙන් ස්ථිර පිළිතුරක් ලබා දුන්නේ ය. වර්ග අඩි 5,000ක් පමණ භූමි ප්‍රමාණයක විහිදෙන භූගත අවකාශය, “කුඩා නවාතැනක් වගේ, ඒක බිම් මහලක් වගේ” යනුවෙන් ඔහු පැහැදිලි කළේ ය.
නමුත් ඒ ගැන විවිධ මත පළ වීම ඉන් නතර නොවුණු අතර ඒ හා සමානව, කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝහි ක්‍රෙසන්ට් පාර්ක් ප්‍රදේශයෙන් නිවාස 11ක් මිල දී ගැනීමට ඔහු ගත් තීරණය ගැන, පෙනෙන විදිහට ඒවාට යටින් වර්ග අඩි 7,000ක භූගත අවකාශයක් නිර්මාණය කිරීම ගැන ද විවිධ මත පළ විණි.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ඔහුගේ ගොඩනැගිලි බලපත්‍රවල බිම් මහලක් ගැන සඳහන් වුව ද, ඇතැම් අසල්වැසියන් එය හඳුන්වන්නේ බංකරයක් ලෙස ය. තවත් පිරිසක් එය කෝටිපතියෙකුගේ වවුල් ගුහාවක් ලෙස හඳුන්වති
ඔහු ගැන පමණක් නොව අනෙක් තාක්ෂණික දැවැන්තයින් පිළිබඳව ද විවිධ මත පවතී. ඔවුන්ගෙන් සමහරක් පවුම් මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී බංකර් බවට පරිවර්තනය කිරීම සඳහා ගැලපෙන භූගත අවකාශ සහිත ඉඩම් කැබලි මිල දී ගැනීමට කාර්යබහුල වී ඇති බව පෙනේ.