අවිෂ්ක සුපිරි ප්‍රහාරයක් දියත් කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 523 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු සමත් විය.

තරග 5 කදී ඉනිම් 5 ක් තුළ අවිෂ්කගේ ලකුණු රැස්කිරීම සටහන් වූයේ 128 ක්, 55 ක්, 89 ක්, 139 ක් සහ 112 ක් ලෙසිනි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 117.79 ක අගයක් ගත් අතර සාමාන්‍යය 104.6 ක් ලෙස සටහන් විය.

තරගාවලිය පුරා පන්දු 444 කට මුහුණදුන් අවිෂ්ක, එහිදී රැස්කළ ලකුණු 523 ට හයේ පහර 19 ක් සහ හතරේ පහර 50 ක් අන්තර්ගත කළේය. ඒ අනුව ගත්කළ එම ලකුණු 523 න් 314 ක්ම හයේ සහ හතරේ පහර මගින් ලබාගත් ලකුණු විය.

තවමත් 20 වැනි වියේ පසුවන අවිෂ්ක, මේ දක්වා පළමු පෙළ සීමිත ඕවර තරග 20 කට ක්‍රීඩා කර ඇත. එහිදී ඔහු ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 958 ක් ලබා සිටින්නේ 50.42 ක සාමාන්‍යක් රැඳවාගනිමිනි.