රූපවාහිනිය ණය උගුලක – විදුලියත් කැපේ

Picture of අසංක

අසංක

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ප‍්‍රතිවිකාශන කුළුණක විදුලි සැපයුමට අදාල රුපියල් හත්ලක්ෂ අනූනවදහසක (රු. 799,000) මුදලක් මෙතෙක් නොගෙවීම නිසා එහි විදුලි සැපයුම අත්හිටුවා ඇත.

එම තත්වය මත මේ වනවිට කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන්ගේ විකාශන කටයුතුවලටද බාධා එල්ලවෙමින් ඇති බව වාර්තාවේ .

විශේෂයෙන්ම එම නාලිකාවල පැහැදිලි දසුන් නොලැබෙමින් ඇති බවටද තොරතුරු වාර්තාවේ.

මෙසේ විදුලි බිල ගෙවා නොමැත්තේ රාජගිරියේ පිහිටි ෆයර්වේ හෝල්ඩින්ස් නිවාස සංකීර්ණයේ සවිකර ඇති කුලුනේය .

තවද පිදුරුතලාගල විකාශන මධ්‍යස්ථානයේ විදුලි බිල්පත් නියමිත කාලයට ගෙවා නොමැති බැවින් මේ වනවිටත් රතුබිල් එවා ඇති බවද වාර්තාවේ.

මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ විදුලිය කප්පාදු කිරීමට ඉදිරියේදී බලධාරීන් පියවර ගතහොත් ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන් ප්‍රේක්ෂකයන්හට නැරඹීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වනු ඇත.

ක‍්‍රිකට් ලෝක කුසලාන තරග විකාශය මිලදී ගැනීමට රුපියල් මිලියන 350ක මුදලක් ද, රුපියල් මිලියන 280ක බැංකු අයිරා ද, ටෙලිනාට්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 60ක් ද සංස්ථාව විසින් ගෙවීමට ඇති බව වාර්තා වේ.

මේ වනවිට ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් විසින් සංස්ථාව වෙත එන්තරවාසිද යවා ඇති අතර සංස්ථාව විසින් මෙම ණය පියවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඇයැදුම් කිරීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ